Press "Enter" to skip to content

ඩෙල්ටා මාරයා වාතය හරහාත් එයි! PCR ගැනත් භයානක අනාවරණයක්!

එන්නත ගත්ත ගමන් මොකුත් වෙන්නෙ නෑ

එන්නත් ලබා ගත් පමණින් කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය නොලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියා.

ඔහු පවසන්නේ පූර්ණ ප්‍රතිශක්තිය ලැබීමට නම් දෙවැනි මාත්‍රාවෙන් ද පසු සති දෙකක්වත් ගත විය යුතු බවයි.

පළමු මාත්‍රාව ලබා ගත් සියළු දෙනාටම ඉදිරි දෙසතිය තුළ දී දෙවැනි මාත්‍රාව ලබා දීමට පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කළා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ දෙවැනි මාත්‍රාවෙන් පසු තුන්වැනි මාත්‍රාවක ද අවශ්‍යතාවක් මතුවුවහොත් එය ලබා දීමට රජය සූදානමින් පසුවන බව යි.

ඩෙල්ටා සහ PCR ගැන බය හිතෙන කතාවක්

මේ අතර මේවන විට මෙරට තුළ වේගයෙන් පැතිර යන නව ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව ද වෛද්‍ය ගුණසේන මහතා අනාවරණයක් සිදු කළා.

ඔහු පවසන්නේ මුල් වෛරසයට වඩා ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රචාරය වීමේ වේගය 100%කින් පමණ වැඩි බව යි.

PCR පරීක්ෂණ හරහා වෛරසය හඳුණාගැනීමේ ක්‍රියාවලියේ දී මේවන විට හටගෙන ඇති තත්ත්වය පිළිබඳව ඔහු මෙලෙස අදහස් පළ කළා.

“මුලින්ම ආපු වෛරස් එකේ ප්‍රචාරය වන වේගයට වඩා 100%ක් වැඩියෙන් මේ අලුත් ප්‍රභේදය පැතිරිලා යනවා. තවත් වැදගත් කාරණයක් තියෙනවා. මේ වෛරසය සොයාගන්න උගුරේ සෙම පරීක්ෂණයක් කරනවා PCR කියලා. මේකෙදි CT අගය කියලා එකක් ගන්නවා. ඒ කියන්නේ අපි උගුරේ සෙම ගත්තට පස්සේ ඒ සෙම ටික 40 වතාවක් අපි රක්කනවා. ඒ කියන්නේ ඒක වවනවා.

වැව්වට පස්සේ 40 වතාවක දී මේ වෛරසය හමුවුනේ නැත්නම්, අපි කියනවා ඒ කෙනාට ලෙඩේ නෑ කියලා. අපේ ලංකාවට වෛරසය ආපු මුල් අවස්ථාවේ අපි සාමාන්‍යයෙන් 32පාරක් 33පාරක් විතර මේක වර්ධනය කළායින් පස්සෙ තමයි අපිට මේ වෛරසය හමුවුණේ.

දෙවැනි රැල්ල එනකොට අපි සාමාන්‍යයෙන් 22පාරක් 23පාරක් විතර වර්ධනය කළාම අපි මේක දකින්න ගත්තා. පහුගිය මාර්තු මාසය විතර වෙන කොට සාමාන්‍යයෙන් 15 පාරක් 12පාරක් වර්ධනය කරනකොට මේ වෛරසය හමු වුණා. පහුගිය දින කිහිපය වෙනකොට උගුරෙන් ගත්තු සෙම එක පාරක් වර්ධනය කරපු ගමන් වෛරසය දකින්න පුළුවන්”

මීටර් දෙකත් මදි

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමේ වේගය හමුවේ මීටර් දෙකක පරතරය තබා ගත්ත ද වෛරසය ශරීරගත විය හැකි බව යි.

“මෙතනදි කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි උගුරේ තියෙන වෛරස් ප්‍රමාණයට අනුව නිව්මෝනියා තත්ත්වය ඇතිවීම සහ රෝග ලක්ෂණ ඉතා වේගයෙන් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. දෙවැනි කාරණය තමයි, උගුරේ තියෙන වෛරස් ප්‍රමාණය වැඩිවෙනකොට ඒක බිඳිති මගින් යනවට අමතරව මේ වාතයට එකතුවෙනවා.

වාතයට එකතු වුණාම සාමාන්‍යයෙන් ඉස්සර අපි මීටර් 2ක් කිව්වට, බැරි වෙලාවක් අපේ මේ මාස්ක් එකක සිදුරකින් හරි, එහෙම නැත්නම් මාස්ක් එකක් නැතිකෙනෙක් හරි හිටියොත්, මීටර් 2ට වඩා බොහෝ ඈතට මේ වෛරස් ප්‍රමාණය යනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා එක්කෙනෙකුට බෝ වුණා නම් දැන් 100කට පමණ බෝවෙන්න පුලුවන්”