කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
mawbima.lk කළ විමසීමකදී වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා මේ බව තහවුරු කළේය.
වෛද්‍යවරයා සඳහන් කළේ, පවතින තත්ත්වය යටතේ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කිරීම සහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.
මේ සම්බන්ධයෙන් වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සියලු වෛද්‍ය නිලධාරීන් සහ අංශ ප්‍රධානීන් වෙත ලිපියක් ද යොමු කර තිබේ.
එම ලිපියේ සඳහන් කර ඇත්තේ, කොවිඩ් රෝගයට ගොදුරු වීමෙන් සංකූලතාවන්ට ලක්වන රෝගීන් වෙත වැඩි ප්‍රමුඛතාවක් ලබා දීම සඳහා කොවිඩ් ආසාදිත ශ්වසනාබාධ හෝ වෙනත් සංකූලතාවයන් නොමැති රෝගීන් අදාළ ප්‍රදේශයේ භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත සහ ප්‍රාදේශීය වසංගත රෝග අංශය වෙත දන්වා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඉඩපහසුකම් ලැබෙන තුරු නිවසේ සිට ප්‍රතිකාර ලබා දීමට යොමු කරන ලෙසටය.
මේ අතර, රත්නපුර ශික්ෂණ රෝහලේ ද රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අනෝජ් රුද්දීගෝමහතා ඊයේ (අගෝස්තු 3) දිනයේදී මෙය ප්‍රකාශයට පත් කර ඇති බවය.
වාර්තාකරු අධ්යක්ෂවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ, කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීම පුළුල් කර ඇති බවත් වෛද්‍ය ප්‍රතිකාර අංශ කිහිපයක සීමා කර ඇති බවත්ය.
මේ අතර, රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇතැයි වාර්තා වෙයි.
Published in Health