කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම තත්ත්වය ඉදිරි මාස දෙක තුළ අත්විඳීමට සිදුවනු ඇතැයි වෛරසයවේදය පිළිබඳව ලෝක ප්‍රකට මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවයි.
ඒ, පසුගියදා ජාතික විද්‍යා පදනම කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයකට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමිනි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු හොංකොං විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය මලික් පීරිස් මහතා,
“නව ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාව තුළ මහා විනාශයක් කළා. ඒ වගේම මට කියන්න සිද්ධ වෙනවා එළඹෙන සති කිහිපයේදී එය ශ්‍රී ලංකාව තුළත් විශාල බලපෑමක් ඇතිකරනු ඇති බව. මහජන සෞඛ්‍ය වෘත්තිකයෙක් ලෙස මම මගේ රාජකාරිය පැහැරහැරියා වෙනවා මම අනතුරු මේ ඇඟවීම කළේ නැත්නම්. ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේදී මෙතෙක් මුහුණ දුන් නරකම තත්ත්වය ඉදිරි මාස කිහිපයේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි. මම ආණ්ඩුවට සහ මහාචාර්ය ජයසුමනට සුබ පතනවා එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම ගැන, එය ඉතාම හොඳින් සිදුවනවා. එසේ වුණත් ඔබ දන්නා පරිදි එන්නතේ මාත්‍රා දෙකම අත්‍යාවශ්‍යයි මේ ප්‍රභේදයට එරෙහිව සැළකිය යුතු බලපෑමක් කරන්න. ඉදිරි මාසය හෝ මාස දෙක තුළදී එන්නත්කරණය නිසා අපිට ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මම හිතනවා ජනතාවට මේ ගැන හොඳින් උපදෙස් ලබාදී ඇති බව.”
මේ අතර, ශ්‍රී ලංකාවද ඇතුළුව ගෝලීය වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත කාර්යාලය නිවේදනය කරයි.
වේගයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය, සීමා ඉවත් කිරීමත් සමඟ පුද්ගල සංචරණය ඉහළ යාම, නොගැළපෙන මහජන සෞඛ්‍ය ක්‍රමවේද හා එන්නත්කරණයේ අසමානතා යන කරුණු ඊට බලපා ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.
මේ නිසා අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණ අනතුරේ හෙළීමක් වී ඇති බවත් සෞඛ්‍ය පද්ධති අඩපණ වීමේ අවදානමක් ඇති බවද එමගින් පෙන්වා දී තිබේ.
Published in Health