Press "Enter" to skip to content

විනය කඩකළ ක්‍රිකට් ක්‍රීඩකයින්ට දීමට නිර්දේශ කළ දඬුවම් මෙන්න

පසුගිය එංගලන්ත සංචාරයේදී විනය විරෝධී ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාට ක්‍රිකට් තහනමක් සහ දඩ නියම කිරීමට එම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිර්දේශකර තිබේ.

ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් අද (29) එම පරීක්ෂණ කමිටුව ඉදිරියට කැඳවීය.

එහිදී නිරෝෂන් දික්වැල්ලට එරෙහිව මාස 18ක ක්‍රිකට් තහනමක් ද ගුණතිලක සහ මෙන්ඩිස් ට එරෙහිව මාස 24ක ක්‍රිකට් තහනමක් ද පනවන ලෙස නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

ඔවුන්ට එරෙහිව එක අයෙක්ට ඩොලර් 25,000ක දඩයක්ද නියම කළ යුතු බව නිර්දේශවල සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුල ආරක්ෂිත ක්‍රමවේදය උල්ලංඝණය කරමින් ඉකුත් ජුනි 27 වනදා රාත්‍රියේ ඔවුන් “ඩරම්” ප්‍රදේශයේදී සමාජගත වී සිටි බවට ඔවුන්ට චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධ වීඩියෝ සාක්ෂියක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි.