Press "Enter" to skip to content

ඩෙල්ටා ආසාදිතයින් ගණන 68ක් දක්වා ඉහළට: ”රට යළිත් අනතුරක”

මෙරට තුළ ඩෙල්ටා කොරෝනාවෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ අනුව, මේ වන විට දිවයින පුරා ම ඩෙල්ටා රෝගීන් ව්‍යාප්ත වී ඇති බවට නිගමනය කළ හැකි බවත් ඉදිරියේදී රට යළි වසා දැමීමක් වුව ද මේ හේතුවෙන් සිදුවිය හැකි බැවින් ජනතාව වඩාත් අවධානයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙල්ටා වෛරස ආසාදිතයින් ගණන කීය ද?

“ඔක්කොම එකතුව 68ක් ඉන්නවා කියලා තමා කියන්නේ. ඔය කියන්නේ පරණ කට්ටියත් එක්ක එකතු කරලා තමා කියන්නේ. හැබැයි ඉතින් ඒකෙන් කියන්නේ ඒ ඉලක්කම එච්චර වැදගත් නැහැ. කොළඹ, යාපනය, ගාල්ල, කිලිනොච්චිය… ඔය හැම පැත්තෙන් ම ඩෙල්ටා රෝගීන් වාර්තා වෙලා තියෙනවා කියන එකයි අපිට මේකෙන් ගන්න පුළුවන් නිගමනය.”

මෙම දත්ත අනුව පැහැදිලි වන්නේ දිවයින පුරා ම ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වෙලා කියන එක ද?

“ඔව්.ඔව්. ඒක හින්දා ඕනෑ ම තැනක මේක තියෙනවාය කියලා හිතලා තමයි අපි මේ වෙලාවේ කටයුතු කළ යුත්තේ. සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම තමා කළ යුත්තේ. හෙට අනිද්දා වෙද්දී ඩෙල්ටා එකෙන් මීට වඩා වාර්තා වෙයි. සාම්පල්නේ කරන්නේ ඒකයි.”

දැනට හඳුනා ගෙන ඇති ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් වාර්තා වන ප්‍රදේශ මොනවා ද?

“ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව පැත්තෙනුයි, කොළඹ නගර සභා ප්‍රාද්ශයේ පිළියන්දලයි, රත්මලානයි ඒ අවට ප්‍රදේශය. ඊළඟට ගාල්ලේ කොග්ගලයි කරාපිටිය කියලා තියෙනවා. කිලිනොච්චියේ ඉරණමඩු, යාපනයේ පූන්තෝට්ටම්. ඔය කියන ස්ථානවලින් හම්බෙලා තියෙනවා. ඔක්කො ම එකතු කරා ම ඔය කියන 68ක් තියෙනවා.”

ඉදිරියේදි තවදුරටත් ඩෙල්ටා ප්‍රභේදය දිවයිනේ ම පැතිරිය හැකි බව ද ඒ අනුව ඔබතුමා කියන්නේ?

“බස්නාහිර පළාතේ තියෙනවා නම්, උතුරු පළාතෙත් තියෙනවා නම්, දකුණු පළාතෙත් තියෙනවා නම්, නැගෙනහිර පළාතේ නෑ කියන්න බෑ. හැම තැන ම තියෙනවා. ඒ අනුව, හැමෝම පරිස්සම් වෙන්න ඕනේ. සතිඅන්තවල එහෙම අනවශ්‍ය ලෙස රස්තියාදු ගහන්න එපා. එක තැනකට වෙලා ගෙවල්වලට වෙලා ඉන්න කියලා තමා අපි කියන්නේ.

නැත්නම් දැනට ම රෝගීන් සංඛ්‍යාව 1700 ගාණකට නැගලානේ ඊයේ. ඉතින් ඒක තවත් නැග්ගොත් ඉතින් මං හිතන්නේ නෑ ආයෙ රට ම වහලා මාසයක් එහෙම් ම ඉන්න ලෑස්ති වෙන්න වෙනවා. බෝවෙන එක නවතින්නේ නෑ.”

යනුවෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.