Press "Enter" to skip to content

15 හැවිරිදි තවත් දැරියක අපයෝජනය කළ බාප්පා ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ්

15 හැවිරිදි බාල වයස්කාර දැරියක නීත්‍යනුකූල භාරකාරත්වය යටතේ රඳවාගෙන අපහරණය කොට අපයෝජනය කිරීම සම්බන්ධයෙන් දැරියගේ බාප්පා සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු අගෝස්තු 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කළාය.

ගාල්ල වරාය පොලිස් වසමේ පදිංචි 15 හැවිරිදි තම දියණිය නිවසේ නොමැති බවට ඉකුත් 16 වන දින ඇයගේ මව වරාය පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර පසු දින දියණිය නිවසට පැමිණි බව පවසා මව ඇය පොලිසියට කැඳවාගෙන ගොස් තිබේ.

එහිදී කරන ලද ප්‍රශ්න කිරීමේදී දැරිය පවසා ඇත්තේ, ෆේස්බුක් හරහා හඳුනාගත් පුද්ගලයෙකු සමග එදින ගත කර ආපසු පැමිණෙමින් සිටියදී ෆේස්බුක් හරහා හඳුනාගත් හික්කඩුවේ පුද්ගලයෙකුගෙන් ලැබුණු දුරකතන පණිවුඩයක් අනුව එහි ගිය බවය.

පසුව පුද්ගලයින් දෙදෙනෙකු පාළු නිවසකට ගෙන ගොස් තමා අපයෝජනය කළ බව දැරිය පවසා ඇත.

පසුව දැරිය කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි අනාවරණය වී ඇත්තේ, දෙදරු පියෙකු වූ ඇයගේ මවගේ නංගිගේ සැමියා (බාප්පා) විසින් 2017 වසරේ සිට ඇයව අපයෝජනය කරනු ලැබ ඇති බවය.

ඒ අනුව, ෆේස්බුක් මගින් හඳුනාගෙන දැරිය අපයෝජනය කරන ලද 31 හැවිරිදි සැකකරු ද හික්කඩුවේදී දැරිය අපයෝජනය කරන ලද 41 හැවිරිදි සහ 40 හැවිරිදි සැකකරුවන් දෙදෙනා ද 36 හැවිරිදි බාප්පා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනගාරගත කර තිබේ.

More from GossipMore posts in Gossip »