Press "Enter" to skip to content

කටානෙන් ඩෙල්ටා ආසාදිතයෙක් හමු වෙයි

කටාන ප්‍රදේශයේ පොල් තෙල් මෝලක සේවකයින් අතරින් කොරෝනා ආසාදිත වූ 18 දෙනෙකු ගේ ජෛව සාම්පල සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිදුකළ වැඩිදුර පරීක්ෂණයකදී එක් අයෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයකු බව හෙළිවී ඇතැයි කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ ඒ යූ ටී කුලතිලක මහතා ඊයේ 19 පැවසීය .

ඉකුත් දිනක මෙම පොල් තෙල් මෝලෙහි සේවක පිරිසේ 29 දෙනෙකු සඳහා පී සී ආර් පරීක්ෂණ පවත්වා ඇති අතර ඉන් 18 දෙනෙකු කොරෝනා ආසාදිත බව හෙළි වී ඇත. සේවක පිරිසේ සියයට පනහකටත් වැඩි පිරිසක් මෙසේ කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ඔවුන්ගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ජයවර්ධනපුර රෝහල වෙත යොමුකර තිබේ.

එහිදී සිදුකෙරුණු පරීක්ෂණවලදී එක් අයකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වී ඇති බව හෙළි වීමෙන් පසු එම සියලු සාම්පල තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා බොරැල්ලෙ වෛද්‍ය පර්යේෂණාගාරය වෙත යැවීමට කටයුතු කර ඇත.

මෙසේ ආසාදිත වූ 18 දෙනා මේ වන විට මූලික සුවය ලබා නිවෙස් වලට පැමිණ සිටින බව ද ඔවුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා ද යළි පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර එම සාම්පල් වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යැවීමට කටයුතු කරන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෙළි කළේය. මේ වන විට එක් අයෙකු ඩෙලිටා ප්‍රභේදය ආසාදිත බව අනාවරණය වී ඇතත් ඒ පුද්ගලයා කවුදැයි මෙතෙක් දැනගන්නට ලැබී නැතැයි ද ඔහු පැවසීය.