ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට දුමින්ද සිල්වා මහතා පත් කිරීමට ජනාධිපතිවරයාගේ නිර්දේශය ලැබී ඇතැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා වෙත තහවුරු කර තිබේ.
තමන් මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකුගෙන් විමසීමක් කළ බවත් එහිදී ඔහු අදාළ පත් කිරීම සත්‍ය බවට තමන් වෙත තහවුරු කළ බවත් mawbima.lk වෙබ් අඩවිය කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට දුමින්ද සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල ලිපියක් සංසරණය වෙමින් පවතී.
අදාළ ලිපිය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති බවට සඳහන් වේ.
එහි සඳහන් කර ඇත්තේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති වශයෙන් දුමින්ද සිල්වා මහතා පත් කිරීම ජනාධිපතිවරයා විසින් අනුමත කර ඇති බවය.
අදාළ ලිපියේ අන්තර්ගත කරුණු පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු තමන් වෙත තහවුරු කළ ද ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, සමාජ මාධ්‍යවල සංසරණය වන එම ලිපියේ සත්‍යතාව පිළිබඳව තමන්ට තහවුරු කළ නොහැකි බවය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට 2016 වසරේ සැප්තැම්බර් 8 වන දා මරණ දඬුවම නියම කෙරුණු අතර ජනාධිපතිවරයාගේ විශේෂ සමාව යටතේ ඔහු පසුගිය දා නිදහස් කෙරිණි.
Published in Political