Press "Enter" to skip to content

කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් වයස අවුරුදු 7ක දරුවකු මිය යයි

අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය

කොවිඩ් – 19 වැලඳුණු දරුවන් 300කට අධික සංඛ්‍යාවක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ වන විට ප්‍රතිකාර ගෙන ඇති බව එහි අධ්‍යක්ෂ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ‘දිනමිණ‘ට ඊයේ (15) පැවසුවේය.

දැනටමත් දරුවන් 20කට වැඩි සංඛ්‍යාවක් රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවත් කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් වයස අවුරුදු 7ක දරුවකු පෙරේදා (14) රෝහල තුළදී මරණයට පත් වූ අතර, මේ වන විට වයිරසය ආසාදිත වීම හේතුවෙන් ඇති වූ සංකූලතා අනුව දරුවන් 10ක් පමණ මරණයට පත්ව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වයස අවුරුදු 14ට අඩු දරුවන් රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු වීම සිදු වේ.

දරුවන්ට කොවිඩ් වයිරසය වැලඳීමේ වැඩි වීමක් දක්නට නොලැබෙන අතර, මව්පිය වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා දරුවන් වයිරසයේ ගොදුරක් බවට පත්ව ඇතැයිද හෙතෙම පැවසීය.

කොවිඩ් ආසාදිතව රෝහල්ගත වන දරුවන් සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ විට එමඟින් අනාවරණය වී ඇත්තේ නිවෙස් තුළ සිටින මව්පිය, වැඩිහිටියන්ගෙන් ආසාදනය වූ තත්ත්වයක් යැයිද ඔහු ප්‍රකාශ කළේය.

එළියට ගොස් පැමිණෙන මවුපිය, වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා වයිරසය නිවෙස් තුළට ගෙන ඒම සිදු වන බවත් එමඟින් කුඩා දරුවන්ට ආසාදනය වීමක් බහුලව දක්නට ඇති බවත් ඒ මහතා පැවසුවේය.

නිවෙසින් එළියට ගොස් පැමිණෙන්නේ නම්, විශේෂයෙන්ම කුඩා දරුවන් සිටින නිවෙස්වල මව්පිය, වැඩිහිටියන් මේ වයිරසය නිවෙස තුළට රැගෙන නොඒමට වග බලා ගත යුතු බවත් ඒ සඳහා කොවිඩ් මර්දන නිවැරැදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම කළ යුතු බවත් ඒ මහතා කීය.

සන්ධ්‍යා කරුණාරත්න