හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් විසින් සිය ක්‍රිකට් දිවියේ අනාගතය සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටු සභාපති අරවින්ද ද සිල්වාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බවට වාර්තා වේ.
31 හැවිරිදි චන්දිමාල් විසින් ලිපියක් මගින් මෙම ඉල්ලීම කර තිබෙන අතර සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, අර්ජුන රණතුංග
අරවින්ද ද සිල්වා සහ ටී.එම්. දිල්ශාන් යන හිටපු ක්‍රීඩකයන් වයස අවුරුදු 30ට පෙර සහ පසුව ක්‍රීඩා කළ අවදියේ සංඛ්‍යා ලේඛන ද අදාළ ලිපියේ ඉදිරිපත්කර ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.
එහිදී චන්දිමාල් විසින් කියා ඇත්තේ ඔවුන් ද වයස අවුරුදු 30 ඉක්මවූ පසුව පෙරට වඩා දස්කම් දක්වා ඇති බවය.
‘මෙම දත්ත අනුව මට හැගී යන්නේ මේ වන විට ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට මා සුදුසු අතර ඒ සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව, සෞඛ්‍ය මට්ටම මා පවත්වාගෙන ඇති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි මගේ අචාර ධර්ම ප්‍රමිතිය ඉහළ මට්ටමක පවතිනවා. මම සෑම විටම කැපී පෙනෙන කණ්ඩායම් ක්‍රීඩක කුසලතා පෙන්වා ඇත්තෙමි. මගේ වෘත්තීය ජීවිතය තුළ මම ගත් සෑම තීරණයක්ම සෑම විටම මගේ රටට සහ කණ්ඩායමට මුල් තැන දී ගෙන ඇති අතර ඇතැම්විට මට පෞද්ගලිකව ඒවාට ප්‍රතිවිපාක ගෙනදුන් අවස්ථාද වේ’ යැයි එම ලිපියේ සඳහන් බව වැඩිදුරටත් කියැවේ.
පසුගිය වසර කිහිපයක කාලයේදී තමාව කණ්ඩායමට තෝරා ගැනීමේ ස්වභාවය හේතුවෙන් තමාට දැඩි ආතතියක් ගෙනදුන් බවත්, සිය දක්ෂතාවයන්ට ඒවාද බල පෑ බවත් ලිපියේ සඳහන් වේ. අදාළ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සහ තේරීම් කමිටු සභාපති වෙතට ද යොමුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.