Press "Enter" to skip to content

‘කාලකණ්ණි’ ලෙස හංවඩු ගැසූ ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනය කරගෙන ගිය හැටි

කොවිඩ්-19 වසංගතය මෙරට තුළ ව්‍යාප්ත වීම ආරම්භ වී මේ වන විට වසර 2ට ආසන්න කාලයක් ගතවෙමින් පවතින අතර ඒ හේතුවෙන් මෙරට සියලු පැතිකඩවලට හානි සිදුවෙමින් පවතියි.

එවැනි වටපිටාවක රටක අතිශය වැදගත් සමාජ කොට්ඨාසයක් වන ශිෂ්‍ය ප්‍රජාව ද දැඩි අර්බුoයකට මුහුණ දී සිටින අතර පාසල් අධයාපන කටයුතු සිදු නොවීමත් සමග ගුරුවරුන් විසින් නිවෙස්හි ම රැඳී සිටි ශිෂ්‍යයන් වෙනුවෙන් දූරස්ථ අධ්‍යාපන ක්‍රමයක් ලෙස ඔන්ලයින් අධ්‍යාපනය පවත්වාගෙන යනු ලැබිණ.

කෙසේ නමුත් මේ වන විට කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය දැක්වීම සඳහා සිදු කළ උද්ඝෝෂණයක් හේතුවෙන් නිරෝධායන නීති කඩ කළැයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් ‘බලහත්කාරයෙන්’ නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාමට විරෝධය පාමින් මෙරට සියලු ම ගුරුවරුන් ඔන්ලයින් අධය්‍යාපනයෙන් ඉවත්ව සිටිති.

මෙතෙක් කල් දුෂ්කර ගම්මානවල ඉතාමත් දුර්වල සන්නිවේදන පහසුකම් සහිතව අධ්‍යාපනය ලබන දරුවන් දහස් ගණනක් අඩු පහසුකම් මධ්‍යයේ වුව ඔන්ලයින් හරහා ගුරුවරුන් එවූ අධ්‍යාපන ක්‍රියාකාරකම් කරගෙන ගියෝය.

කෙසේ නමුත් මෙතෙක් ලබා දුන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදයෙන් ඉවත් වීමට මේ වන විට ගුරුවරුන් කටයුතු කර ඇති අතර එය නවතා දැමීමෙන් පාසල් ශිෂ්‍යයන්ට මහත් හානියක් සිදු වෙමින් පවතින බැවින් මේ සම්බන්ධයෙන් mawbima.lk අපි ගුරුවරුන්ගෙන් අදහස් විමසීමක් කළෙමු.

ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට මෙතෙක් කල් පාසල් ගුරුවරුන්ට රජය මගින් යම් දීමනාවක් ලබා දුන්නාද?

තිලක්ෂි වීරකෝන් – පාසල් ගුරු (කළුතර විද්‍යාලය)

“මුකුත් නෑ. අපි ම අපේ වියදමෙන් කරගෙන ගියේ. රජයෙන් ඔය පස්සේ නියාමනය කරන්න හැදුවට ගුරුවරු ස්වේච්ඡාවෙන් පාසල් මට්ටමෙන් කරපු දෙයක්. දැන් කලාප කාර්යාලවලින් අධීක්ෂණය කරන්නේ. ඔන්ලයින් අනිවාර්ය කරන්නත් බෑ අපි අතින් වියදම් කරගෙනනේ කරන්නේ. ගුරුවරුන්ට ඕනි නම් කරන්න පුළුවන්. මුලින් ම වට්ස්ඇප් වලින් කර කර හිටියේ. පස්සේ සූම්වලින් කරේ. මේ වෙද්දි පළවෙනි වාරේ වගේ ම දෙවනි වාරේ වැඩත් කරලා තියෙන්නේ්. වෙන වෘත්තීන්වල මොන ඉල්ලීම් කරත්, OT ද ක්ලේම් කරනවානේ. අපි එහෙම ඉල්ලන්නේ නෑනේ. ඩලස් ඇමති ඉද්දි වදනෙන් හරි ඇගයීමක් හරි කරා. ගුරුවරු කොහොමහරි ඇදගෙන ගියා පසුගිය කාලේ මේ අවුරුදු 2ක් පැතිරුණු කොරෝනා ඇවිල්ලා. රජයෙන් කියලා, කොච්චර පාඩම් කවර් කරනවද? කියලා කලාප කාර්යලවලින් අහනවා විතරයි. අවුරදු 2ක් කොරෝනා තියෙද්දී ගුරුවරුන්ගේ කැපවීම නිසා කරගෙන ගියේ.”

රොෂානා අනීස් – පාසල් ගුරු

“නැහැ. අපේ වියදමින් තමයි. ඒ අපේ වියදමින් තමයි කරන්නේ Zoom පැකේජ් දාලා. උපරිම මහන්සි වෙනවානේ අපි. කන ගමන් ළමයි ප්‍රශ්නයක් දැම්මත් ඒක ගැන බලලා තමයි ආයේ කන්නේ. රජයෙන් මේ ගැන බලනවා නම් හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ.”

මේ සම්බන්ධයෙන් අපි ගුරු සංගම් ද්විත්වයක නිලධාරීන්ගෙන් ද අදහස් විමසීමක් කළෙමු.

ජෝසෆ් ස්ටාලින් – සභාපති (ලංකා ගුරු සංගමය)

“මෙහෙමයි. ගිය අවුරුද්දේ මාර්තු 03 ඉඳන් අවුරුද්දක්, මාස 3ක් අධයාපන කටයුතු කෙරුණේ නෑ. ඔන්ලයින් අධ්‍යාපනය තමා කෙරුණේ. රටේ ළමයින්ගෙන් 40%කට පමණ නිසි අධ්‍යාපනයක් තිබුණේ නෑ. ඔවුන්ට සිග්නල් නෑ. විවිධ ප්‍රශ්න. එහෙම තියෙද්දී තමන්ගේ deviceවලින් තමන්ගේ data දාගෙන ගුරුවරු මේක කරේ. ආණ්ඩුව සතයක් වියදම් කරේ නෑ. ඒක අපි කරේ. මෑතකදී තමා කැබිනට් පේපර් එකක් දාලා වෙනත් ක්‍රියාමාර්ගවලට යනවා කියලා කියන්නේ. අවුරුද්දයි මාස 4ක් යනකං කරේ නෑ. දැන් තමයි චැනල් දාගෙන වෙනත් ක්‍රියාමාර්ගවලට යනවා කියන්නේ.”

බොරු සංඛ්‍යා ලේඛන දත්ත ඉදිරිපත් කර කර තමන්ගේ කැපකිරීමෙන් මේක කරපු ගුරුවරුන්ට තමයි මේ කාලකණ්ණි කියලත් කිව්වේ. ගුරුවරුන් ද කාලකණ්ණි ඒ අයට බනින අය ද කාලකණ්ණී කියලා තමයි අපිට අහන්න තියෙන්නේ.”

මහින්ද ජයසිංහ – ප්‍රධාන ලේකම් (ලංකා ගුරු සේවා සංගමය)

“කිසිදු දීමනාවක් කරේ නෑ. ස්වේච්ඡාවෙන් තමන්ගේ වැටුපෙන් තමයි වියදමින් කරගෙන කරේ. එකක් තමයි අපි දිගින් දිගට ම ඉල්ලුවා ඔන්ලයින් සඳහා යම් ගුරුවරුන්ට දරුවන්ට ඕනි කරන පහසුකම්, device නොමිලේ දෙන්න කියලා. කිසිදු ප්‍රතිචාරයක් නෑ.

මේ අවුරුදු 2ට ම ගත්තේ අධ්‍යාපනය සඳහා අවම මුදලක්. අධ්‍යාපනය සඳහා වියදම් කරන්න වෙන් කරපු මුදලින් මිලියන 126ක් වෙන්කරා. ඒ මුදලින් සැලකිය යුතු මුදලක් ඉතිරි වී තියෙනවා. ආණ්ඩුව ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා කියලා පේන්න නෑ.”

අප මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගෙන් විමසීමක් කිරීමට උත්සහ කළ නමුත් එය අසාර්ථක විය.

More from GossipMore posts in Gossip »