මීට පෙර කොරෝනාවෛරස් ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගත් කොළඹ ප්‍රදේශ ආශ්‍රිතව අහඹු ලෙස ලබා ගත් තවත් ජෛව සාම්පල් 25ක සැකසහිත සාම්පල් 14ක් හමුවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
අදාළ ප්‍රදේශවලින් ලබා ගත් ජෛව සාම්පල් සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණවලදී ඒවා අතරින් සාම්පල් 14ක් ඩෙල්ටා ප්‍රභේදය යැයි සැකසහිත බවට හඳුනාගෙන ඇති බවත් ඒ පිළිබඳව එළඹෙන සතියේදී නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බවත් mawbima.lk වෙබ් අඩවිය කළ විමසීමකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
“අහඹු ලෙස සාම්පල් 25ක් අරගෙන තියෙනවා. කොළඹ ප්‍රදේශයෙන්. ඒ කියන්නේ අර කලින් ඩෙල්ටා හමුවෙච්ච ප්‍රදේශවලින්. ඒ හම්බවෙච්ච් ඒවායින් 25ක මූලික පරීක්ෂණයක් කරපුවා ම සැක සහිත ඒවා 14ක් හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ 14 තොරතුරුත් අදාළ epidemiolgy unit එකට දැනුම් දෙනවා, මොකද ඒ සම්බන්ධයෙන් confirm කරනකම් ඉන්න ඕනේ නෑ මොනවා හරි ගත යුතු ක්‍රියාමාර්ගයක් තියෙනවා නම් immedietly ගන්න ඕන හින්දා. ඒ හින්දා ඒක එවලා ඒගොල්ලෝ කියනවා ලබන සතියේ මේක තහවුරු කරලා තොරතුරු එවන්නම් කියලා.”
තවමත් මේ පිළිබඳව තහවුරු කර නොමැති බවත් ඒ හේතුවෙන් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
මෙරටින් මුල් වරට කොරෝනාවෛරස් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් 5 දෙනෙකු හඳුනා ගැනුණු අතර පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ලබා ගත් ජෛව සාම්පල්වලින් තවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් 14 දෙනෙකු හඳුනා ගනු ලැබීය.
Published in Health