පළමු වැනි කොරෝනා වසංගත රැුල්ල යටතේ පැතිර ගිය වූහාන් වෛරසයට වඩා වේගවත් පැතිරීමක් ඇති ඩෙල්ටා කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවන් දැනට මෙරටින් සොයා ගෙන ඇත්තේ විසි ගණනක් වුවද එම ආසාදිතයන් සිය දහස් ගණනක් මේ වන විට අප සමාජයේ සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා, පෙරසූදානම් හා ප‍්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ට පැවසීය.
මේ හේතුවෙන් මහජනතාව පෙරට වඩා දැඩි වගකීමකින් යුතුව කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්විය යුතු බව ද ඔහු සඳහන් කළේය.
ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය වූහාන් වෛරසය පැතිරීම පාලනය කළ අයුරින් ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් හඹා යෑමෙන් පමණක් පාලනය කළ නොහැකි බව පෙන්වා දෙන වෛද්‍ය හේරත් මහතා මහජනතාව පැහැදිලිවම මෙම දිනවල එම වෛරස් ප‍්‍රභේදයෙන් නිසි ලෙස ආරක්ෂා විය හැකි නාසය හා මුඛය හොඳින් ආවරණය වන සේ මුහුණු ආවරණයක් (මාස්ක්) පැළඳීම, අන් අයගෙන් මීටර් දෙකක දුරකින් සිටීම, හැකිතාක් ගමන් බිමන් සීමා කිරීම, බාහිර යමක් ස්පර්ශ කළ පසු සබන් හෝ විෂබීජනාශක දියරයක් යොදා දෑත් හොඳින් පිරිසිදු කර ගැනීම යන කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමෙන් එහි පැතිරීම පාලනය කළ යුතු බව අවධාරණය කළේය.
‘‘සෞඛ්‍ය අංශවලට පමණක් මෙම ඩෙල්ටා ප‍්‍රභේදයෙන් ජනතාව ආරක්ෂා කිරීම කළ නොහැකියි. ඒ නිසා සමාජයේ මහජනතාව හැසිරෙන ආකාරය අනුව තමයි මෙම වෛරස් ප‍්‍රභේදය සමාජය තුළ කෙතරම් දුරට පැතිරෙන්නේ ද යන්න පිළිබඳව තීරණය වන්නේ. ලොව අනෙක් රටවල දක්නට ලැබෙන්නේද මෙවැනි තත්ත්වයක්. මෙම වෛරස් ප‍්‍රභේදයේ පැතිරීම වේගවත් නිසා එය ආසාදනය වූවන්ගේ ආශ‍්‍රිතයන් පවා හඹා යෑම සිදු කිරීම අසීරු වී තිබෙනවා. මේ නිසා මෙම දිනවල නිසි පරිදි කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය රැුකීමට සැවොම කටයුතු කළ යුතුයි.
මුහුණු ආවරණයක් පැළඳ සිටිය ද සෙනග ගැවසෙන ස්ථාන මගහැරීම මෙන්ම එළිමහනට යන විට අන් අයගෙන් මීටර් දෙකක දුරස්ථභාවයක් පවත්වා ගැනීම කළ යුතුයි. සැම විටම දෑත් පිරිසිදු කර ගැනීම ද මෙහිදී වැදගත්. මෙම පිළිවෙත් බාල, තරුණ, මහලූ සියලූ දෙනා නිසි පරිදි අනුගමනය නොකළහොත් ඔවුන් මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හෙට දවසේ මෙම වෛරස් ප‍්‍රභේදයට ගොදුරු විය හැකියි’ යැයි වෛද්‍ය හේරත් වැඩිදුරටත් සඳහන් කළේය.
ඩෙල්ටා ප‍්‍රභේදය හැරෙන්නට වෙනත් නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් මෙරට පැතිරෙන්නේද යන්න පිළිබඳව සෞඛ්‍ය අංශ තවදුරටත් පර්යේෂණ සිදු කරන බව හෙතෙම වැඩිදුරටත් කීවේය.
ඒමන්ති මාරඹේ
Published in Health