Press "Enter" to skip to content

“ඩෙල්ටා” රෝගියා හමුවූ ජයලිගම තවත් හතරක් ආසාදිතයි

ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයා සොයා ගැනුණු කහතුඩුව ජයලිගම ප්‍රදේශයේ තවත් 04ක් කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබෙන බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඔවුන් සිව් දෙනාට ආසාදනය වී තිබෙන්නේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය බවට මෙතෙක් තහවුරු වී නැතැයි ද ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව එම ඩෙල්ටා කොරෝනා ආසදිතයා හමුවීමෙන් අනතුරුව එම ගම්මානයේ 100දෙනෙකුට පී සී ආර් පරීක්ෂණ සිදුකර තිබුණි.

එහි ප්‍රතිපල අනුව 70 දෙනකුගේ පී.සී.ආර් වාර්තා ලැබී තිබූ අතර සිවු දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වී ඇත්තේ එම වාර්තා මගිනි.

මේ අතර ඩෙල්ටා කොරෝනා ආසාදිතයාගේ මව බිරිඳ සහ දරුවාට කොවිඩ් ආසාදනය වී නොමැති බවත් ඔවුන් සම්බන්ධයෙන් යළි කොරෝනා පරීක්ෂණයක් කිරීමට තීරණය කර ඇති බවත් සෞඛ්‍ය අංශ නිලධාරීහු සඳහන් කරයි.

කෙසේ නමුත් ඩෙල්ටා ආසාදිතයා සොයා ගැනීමෙන් පසුව ප්‍රදේශයේ පවුල් 50ක පමණ පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙන අතර සෞඛ්‍ය ආරක්ෂක පියවරක් ලෙස ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා තවදුරටත් එලෙසම ක්‍රියාත්මක කර ඇත.