දිනිති උපේක්‍ෂා රණවීර වෛද්‍යවරිය ගැන අප මීට පෙර කතා කළේ ඇය දක්‍ෂ ගායන ශිල්පිනියක නිසයි. හැබයි අද කතා කරන්න හදන්නෙ ඇය සමග නොවෙයි. ඇය මෙන්ම සීමාවාසික පුහුණුව ලබමින් කටයුතු කරන තවත් තුරුණු වෛද්‍යවරියක සමගයි. දිනිති සහ ඇයගේ යෙහෙළියක වන තිළිණි භාග්‍යා විජයරූප ගැන මේ දිනවල සමාජ මාධ්‍ය බොහෝ සෙයින් කතා වන්නේ, වෛද්‍යවරියක් ලෙස පුහුණුව ලබන අතරේ, විවේකයේදී මේ දෙන්නා සැහැල්ලු වෙන්න හිතාගෙන කළ නිර්මාණයක් නිසයි. ප්‍රවීණ ශිල්පිනී ශෂිකා නිසංසලා මෑතකදී ගැයූ අතිශය ජනප්‍රියත්වයට පත් ‘චන්ද්‍රා පායන්න’ ගීතය ‘කවර්’ එකක් විදියට දිනිති ගයද්දී, මේ තිළිණි භාග්‍යා අපූරු නර්තනයක් ඊට එක් කිරීම නිසා, මිලියනයකට එහා ගිය මහා ප්‍රේක්‍ෂකාගාරයක් අතර එය ජනප්‍රිය වුණේ එක් රැයකින් කිව්වොත් හරි. ඉතින් මේ විදියට ශෂිකා ගැයූ ගීතය, වෛද්‍යවරියක වන දිනිති උපේක්‍ෂා රණවීර ගයද්දී ඊට නැටුමෙන් හැඩයක් ගෙන දුන් මේ තිළිණි භාග්‍යා විජයරූප වෛද්‍යවරිය කවුද? මේ කතාබහෙන් ඒ ගැන අපි දැන ගනිමු.
• සම්පූර්ණ නම?
තිළිණි භාග්‍ය විජයරූප.
• වැඩි දෙනෙක් කතා කරන්නෙ කොහොමද?
තිළිණි කියලා.
• වෛද්‍යතුමිය කියන්නද? තිළිණි කියන්නද?
තිළිණි කියන්න.
• ගම?
ගාල්ල, කලේගාන.
• පවුලේ විස්තර එහෙම කිව්වොත්?
මම ඉගෙන ගත්තේ ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයෙන්. පසුව කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා. දැන් ඇල්පිටිය මූලික රෝහලේ සීමාවාසික පුහුණුව ලබනවා. අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි, මමයි. අයියලා දෙන්නා විවාහකයි. ඉතින් ඒ අක්කලා දෙන්නයි, බබාලයි.
• තිළිණි, පාසල් කාලයේ මතකය මොන වගේද?
පාසලේ පෙරදිග තූර්යවාදක කණ්ඩායමේ හිටියා. ඊට අමතරව නර්තන අංශයේ සමූහ තරගවලට දායක වී සමස්ත ලංකා ජයග්‍රහණ ලැබුවා. ජාතික කලා මහෝත්සවවලදී නර්තන ඉදිරිපත් කරලා තියෙනවා. පසුව වෛද්‍ය විද්‍යාලයට ආවාම, වැඩිය කලා අංශයේ වැඩවලට ගියේ නැහැ. හැබැයි අපේ කණ්ඩායමේ ඉසව්වලදී නර්තනයෙන් ඉදිරිපත් වුණා. ප්‍රසංගයක් එහෙම සංවිධානය වුණාම මට තමයි නර්තන අංගයක් නිර්මාණය කරන්න ලැබුණෙ. ඒ විදියට නර්තනය දිගටම ජීවිතයේ තිබුණා. නර්තනය විෂයක් විදියට හැදෑරුවේ සා/පෙළ දක්වා විතරයි.
• ඇයි වෛද්‍යවරියක් වෙන්න හිතුවෙ?
අම්මගෙයි, තාත්තගෙයි ආසාව වගේම වෘත්තියක් ලෙස මමත් වෛද්‍ය අංශයට ආස කළා. පළමුවර මට බැරි වුණා. ලකුණු මදි වුණා. ඒත් උත්සාහය අත්හැරියෙ නැහැ. පැරණි නිර්දේශයෙන් හදාරලා දිවයිනේ ප්‍රථමයා වී වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා.
• වෛද්‍යවරියක වීමට නොහැකි වූවා නම්?
එහෙම වුණා නම්, මොන අංශයකට යාවිද කියලා හිතාගන්න බැහැ. මගේ හීනය වුණේම වෛද්‍යවරියක වීමටයි.
• ඔබ කොහොමද ඒ වෛද්‍යවරියක වීමේ උත්සාහය අත් නොහැර, ඒ සිහිනය සැබෑ කරගත්තෙ?
උපරිමයෙන් උත්සාහ කළා. ඒ නිසා තමයි දිවයිනේ ප්‍රථමයා වුණේ. ඒ නැතත්, උපරිමය කළානෙ කියලා සතුටු වෙනවා.
• මේ විදියට වෛද්‍යවරියක් වීමට සිහින මවන තරුණියන්ට ඔබ දෙන පණිවුඩය මොකක්ද?
තමන්ට ඉලක්කයක් තිබේ නම්, ඒ වෙනුවෙන් උපරිම මහන්සි වෙන්න. මේ ලැබුණු ජීවිතය ආයේ ලැබෙන්නෙ නැහැ. ඒ නිසා තමාට ඇති සිහිනය සැබෑ කරගන්න කැපවෙන්න. මොන වෘත්තියක හෝ වේවා ඒ විදියට කැපවෙන්න. මගේ සිහිනයේදී එදා මම හිතුවෙ මගේ අම්මට, තාත්තට හරි බෙහෙත් කරන්න, උදව් කරන්න පුළුවන්නෙ කියන හැඟීමයි.
• කොච්චර පාඩම් කළත් මතක හිටින්නෙ නැහැ කියලා සමහර අය කියනවා. මතක හිටින්න පාඩම් කරන්නෙ කොහොමද?
ඕනෑම අමාරු දෙයක් සරල ලෙස එහි මූලික හරය තේරුම් ගන්න ඕනෑ. ඒ වගේම අකමැති දෙයක් නම් මතක නොහිටින්න පුළුවන්. කැමැත්තෙන් කරන දේ මතක හිටිනවා. කැමැත්තෙන් කළ දේ ජය ගන්න බැරි වුණොත්, උපරිමය කළානෙ කියලා සතුටු වෙන්න. වෛද්‍යවරියක් වීමට යෑමේදී අහිමිවන තවත් දේ තියෙනවා. ඒ නිසා ලැබුණු දේ ගැන මිසක, ලැබුණු හොඳ දේ මිසක අනවශ්‍ය දේ ගැන හිතන එක තේරුමක් නැහැ.
• ඇයි මේ විදියට සමාජ මාධ්‍ය කළඹන්න හිතුවෙ, නර්තනයකින්?
අපි එහෙම හිතලා කළ දෙයක් නෙවෙයි. ප්ලෑන් එකකට කළ එකක් නෙවෙයි. අපට ඒ වෙනුවෙන් කාලයක් තිබුණෙත් නැහැ. දිවා ආහාර වෙලාවෙදි තමයි මේ වීඩියෝව කළේ. ‘දිනිති’ තමයි යෝජනා කළේ මෙහෙම දෙයක් කරමු කියලා. මේ විදියට ශෂිකා නිසංසලා මහත්මියගේ අලුත් ගීතයක් තියෙනවා, එයා ගයන්නම් මට නර්තනය කරන්න කියලා එයා යෝජනා කළා. එහෙම කළේ මේ විදියට යූ-ටියුබ් දාන්න හිතාගෙන නෙවෙයි. ‘දිනිති’ මුලින්ම එය ෆේස්බුක් එකට දාලා තිබුණෙ. අපි දවසෙම මහන්සි වෙලා ඉන්න නිසා සැහැල්ලු වෙන්න හිතාගෙන මෙය කළේ. මේ විදියට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ජනප්‍රියත්වයකට පත්වේවි කියලා හිතුවෙ නැහැ. රෙකෝඩ් කළේ අපේ තවත් යාළුවෙක්. එයාගෙ නම කවීන්ද්‍රා. ෆොටෝ එක අරන් දුන්නෙ සචිනි. අපි මේක කළේ සූතිකාගාරයේදියි. එතැන හිටපු මිඩ්වයිෆ්ලා, නර්ස්ලා ඇතුළු අය අපි කරන දේ බලා හිටියා. ආලෝකයට යොදා ගත්තෙ සූතිකාගාරයේ ලාම්පු (ලයිට්ස්).
• අනෙකුත් වෛද්‍යවරු මේක දැකලා මොකද කිව්වෙ?
අපේ සර්ලාගෙන් අපි නොහිතපු විදියට හොඳ ප්‍රතිචාර ලැබුණා. මීට වඩා හොඳට, තවත් එකක් කරන්න කීවා. හැබැයි මේ විදියට ප්‍රතිචාර ලැබේවි කියලා නම් අපි හිතුවෙම නැහැ. මිනිස්සු මේක බලන එකක් නැහැ කියල මම නම් කිව්වෙ. කොහොම වුණත් මුල් දවසේ එක්ලක්‍ෂ ගණනක් නරඹලා තිබුණා. පසුව රූපවාහිනී නාලිකාවලත් ප්‍රචාරය වුණා.
• ‘ශෂිකා’ මොනවද කිව්වෙ?
එතුමිය එයාගෙ ෆේස්බුක් එකේ පවා දාලා තිබුණා. එයා ඒක අගයා තිබුණා. ඒ විදියෙ ප්‍රතිචාර ලැබුණාම අපි හිතුවෙ මීට වඩා හොඳට කරන්න තිබුණනෙ කියලයි.
• මෙතැනින් පසුව මේ විදියට දිගටම නර්තන නිර්මාණ කළොත් හොඳයි නේද?
එහෙම අදහසක් දැනට නැහැ. එදා ඒක කළේ මානසික නිදහසට. දිනිති කිව්වොත්, අදහසක් ආවොත් හිතලා බලනවා.
• චන්ද්‍රා පායන්නා සේ, ‘තිළිණි’ගෙ ජීවිතයට පෑයූ ආදර එළිය ගැනත් කියමු?
ඒක පස්සෙ කියන්නම්.
• මේ ලස්සන තිළිණි දොස්තර නෝනාට ආදරය දැනෙන්නෙ කොහොමද?
ආදරය කියන්නෙ ජීවිතයට තිබිය යුතුම දෙයක්නෙ. පවුලේ අයගෙන්, යාළුවන්ගෙන් වගේම හැමෝගෙන්ම ලැබිය යුතු දෙයක්. අපි මිනිස්සුනෙ. ආදරය නැතුව අපට ඉන්න බැහැනෙ.
• ‘තිළිණි’ කොහොම, මොනවගේ කෙනෙක්ද?
මම මාව දකින විදියට හරිම සරල විදියට ජීවත් වෙන්න කැමති සතුටින් හිනාවෙලා ඉන්න කැමැති කෙනෙක්.
• ‘දිනිති’ට වගේ, ‘තිළිණි’ටත් ගයන්න පුළුවන්ද?
ඒක නම් මට බැහැ.
• දිනිති සහ ඔබ අතර යාළුකම ඇතිවූ විදියත් කියමු?
අපි එකම පාසලේ. පසුව එකම ෆැකල්ටියෙ හිටියෙ. ෆැකල්ටියෙදි තමයි අපි වඩාත් මිතුරු වුණේ. දිනිතිට ගැයුම වගේම නර්තනයත් හොඳට පුළුවනි. දැන් සීමාවාසික පුහුණුව ලබද්දි අපි දෙන්නා ඉන්නෙත් නිල නිවාසයේ එකම කාමරයේ. දිනිතිට හොඳට වයන්නත් පුළුවනි. අපි දෙන්නා කාමරයේදී සිංදු කියමින් සතුටු වෙනවා. මේ වීඩියෝ එකෙන් සමාජයට, මිනිසුන්ට සතුටක්, සැහැල්ලුවක් දීමට පුළුවන් වුණේ ‘දිනිති’ මුල්වූ නිසයි. අපි කළ දේ ගැන සතුටුයි.
සඳුන් ගමගේ
Source – saaravita.lk










