ස්වර්ණවාහිනි නාළිකාව තුළ මේ දිනවල අතිශය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද විකාශය වන ටීචර් අම්මා ටෙලි නාට්‍යයේ ටීචර් අම්මා මෙවර හදගැස්මට ළෙන්ගතු වුණා. ඇය අපට අමුත්තියක් නම් නොවෙයි. ඇත්තට ම ඒ රුව අපට ඉතාම හුරුපුරුදුයි. ඇය හිරුෂි වසුන්දරා. මේ දිගහැරෙන්නේ හදගැස්ම අපි ඇයත් සමග කළ කතාබහයි.
කොහොම ද හිරුෂි ඉතින් මේ දිනවල වැඩකටයුතු?
මේ දවස්වල ටීචර් අම්මා රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් සමග නීති අංශයේ විභාගයක් සඳහාත් සූදානම් වෙමින් ඉන්නවා.
ටීචර් අම්මාත් එක්ක හිරුෂි කාර්යබහුල වෙලා ද?
ඔව්. ටීචර් අම්මා කියන්නේ ලොකු වැඩක්. අපි බෙලිහුල්ඔයට ගිහින් නතර වෙලා තමයි රූගත කිරීම් කරන්නේ. ඉතින් ලස්සන දර්ශන තල රාශියකට යනවා සහ දවසකට කරන සීන් ප්‍රමාණය අඩු නිසාත් වැඩි කාලයක් ටීචර් අම්මාට ලබා දෙන්න සිදු වී තිබෙනවා.
ඇත්තට ම හිරුෂි කොහොම ද ටීචර් අම්මා වුණේ?
මෙහි අධ්යක්ෂතුමා වන සුදත්ත අයියාගෙන් දුරකතන ඇමතුමක් ආවා මේ චරිතයට ගැළපෙන්නේ මම කියලා හිතනවා කියලා. හැබැයි මේ කාලේදි නිතර ගුරුවරියන්ගේ චරිත දකින්න ලැබෙන නිසා මේ සඳහා මම එහෙම විශේෂ උනන්දුවක් දැක්වූවේ නැහැ. ඒ වනවිට මට තවත් නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තිබුණු නිසා සහ විභාග කටයුතුවලට සූදානම් වෙමින් සිටි නිසාත් වෙලාව වෙන් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.
ඒ කාලයේ ම පෝය ටෙලි නිර්මාණයකදී රුවන් පෙරේරා අයියාව මට මුණගැසුණා. ඔහුත් කතා කරලා කිව්වා මෙහෙම ගුරුවරියකගේ චරිතයක් තියෙනවා ඒක ඔයාට හොඳට ම ගැළපෙනවා ඔයාට හොඳට කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වෙනකොට ඒ චරිතය මට කලින් ලැබුණු බව ඔහු දැන සිටියේ නැහැ. ඔහු මට මෙහි පිටපත ගැනත් පැහැදිලි විස්තරයක් කළා. පිටපත් රචක තිමිර උඩලමත්ත අයියාත් ඔහුගේ හොඳ යහළුවෙක්. ඉන් පසුව මටත් චරිතය ගැන ආසාවක් ඇති වුණා. අවසානයට නිර්මාණයට සම්බන්ධ වන අනිකුත් අය සමගත් සාකච්ඡා කොට අධ්‍යයනයකින් පසුව තමයි මේ චරිතය මම තෝරා ගත්තේ.
කොහොම ද ටීචර් අම්මාට ලැබෙන ප්‍රතිචාර?
ඇත්තට ම ඇය ටීචර් කෙනෙක් ම පමණක් නොවේ. අම්මා කෙනෙක් වගේ ගුරුවරියක් වටා ගෙතෙන කතාවක්. ප්‍රතිචාර බොහොමත් ම ඉහළයි. විකාශයට පෙර සිටම ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. දැනට කොටස් කිහිපයක් පමණක් විකාශනය වුවත් නාට්‍යය අතිශය ජනප්‍රියයි සහ මිනිස්සු හුඟක් කතාබහට ලක් කළ නිර්මාණයක්.
හිරුෂි ක්ෂේත්රයට පැමිණි ආකාරය මතක් කළොත්?
මම මුලින් ම ළමා රංගන ශිල්පිනියක් විදිහට 2007 වසරේදි සිරස ටීවී එකේ පුංචි පැංචි වැඩසටහනේ සජීවී ළමා වැඩසටහනේ නිවේදිකාවක් ලෙස අවුරුදු 4ක් පමණ වැඩ කළා. 2009 ජාතික රූපවාහිනියේ රාවණා අඩවිය නාට්‍යයේ ප්‍රධාන චරිතයට ළමා රංගන ශිල්පිනිය ලෙස සම්බන්ධ වුණා. ඉන් පෙරත් ළමා නිවේදිකාවක් ලෙස වැඩ කරගෙන ගියා. කුඩා කල සිට ම ආසාව තිබුණේ නිවේදිකාවක් වීමටයි.
ඉන් පසුව සිරස එෆ්.එම්. එකේ නිවේදිකාවක් විදිහටත් වැඩ කළා 2012/2013 කාලෙදී. 2018 දෙරණ අවුරුදු වූ පසු රංගන වැඩමුළුවලට සම්බන්ධ වුණා. තවත් හැදෑරීම් සමග පිනි කඳුළු, බවාන්තර, පියාණෙනි, පතිනි වගේ පෝය ටෙලි කතාවලට සම්බන්ධ වුණා. ඒ අතර දෙරණ පාවෙලා වලාකුළේ ඒවි ද අම්මා නාට්‍යයට සම්බන්ධ වුණා. එය පළමු දීර්ඝ නාට්‍යය. එහි මගේ චරිතය ඩොක්ටර් අනුරාධිගේ චරිතය. ඉන්පසුව දීර්ඝ නාට්‍යයක් ලෙස ටීචර් අම්මාට තමයි සම්බන්ධ වුණේ.
හිරුෂි කොහොම ද මේ විධියට කුඩා දරුවන් රාශියකට අම්මා කෙනෙක් වුණේ?
ඇත්තට ම ටීචර් අම්මා දර්ශන තලයේදී පුංචි ගැහැනු ළමයි, පිරිමි ළමයි ගොඩක් සමග මට වැඩ කරන්න ලැබුණා. එයාලා ඉස්සෙල්ලා ම ඇවිත් මගෙන් ඇහුවේ, “මිස්, නැත්නම් අක්කේ අපි ඔයාට මොකක් කියල ද කතා කරන්නේ කියලයි” මම කිව්වා මට ටීචර් කියන්න කියලා. එදා ඉඳන් දර්ශන තලයෙදිත් ඉන් පිටතදිත් එයාලට මම ටීචර්. නැත්නම් ටීචර් අම්මා කියලත් කියනවා.
එයාලා මට හරිම ආදරෙයි. මම කෑවද, බිව්ව ද, මට මහන්සි ද වගේ ඔක්කො ම ගැන හොයලා බලනවා. මම ඇඳුමක් ඇන්දත් ඒක ලස්සනයි කියනවා. ළඟට ම වෙලා තුරුලු වෙලා දැවටි දැවටි ඉන්නවා. හරි ම හොඳ ළමයි ටිකක් මට ඉන්නවා. මේක නාට්‍යයක් ම විතරක් නෙවෙයි, සැබෑ ජීවිතයේදීත් එයාලට මම මවක් සහ ගුරුවරියක්.
හිරුෂිට ලැබෙන්නේ හරි ම සංවර අහිංසක චරිත පමණ ද?
මෙහෙමයි. “ඔයාගෙන් අපි දකින්නේ ඒ වගේ චරිතයක් තමයි ඒ නිසා වෙනස් දෙයක් කරමු” කියලා කතා කළ අවස්ථාත් තිබුණා. ඇත්තට ම චරිතාංග නිළියකට තම දක්ෂතා පෙන්වීමට විවිධ චරිත කිරීම අවශ්‍යයි. නමුත් මම මටම පෞද්ගලිකව පනවා ගත් සීමා කිහිපයක් තියෙනවා. ඒවායේ ඉඳගෙන මම රංගනය කරන නිසා සමහර චරිත මට භාර ගන්න වෙන්නේ නැහැ. හේතුව තමයි ප්රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙන චරිත කරන්න තමයි වැඩි කැමැත්ත.
විනෝදාංශයක් ලෙස රංගනය කරන නිසා මං ආස දේ මිනිසුන් දකින්නත් ආස විධියට කරන්න කැමැතියි. ඇඳුම් පැළඳුම් ගැනත් ගොඩක් සැලකිලිමත්. මම වැඩිය ඇඟ නිරාවරණය වන ඇඳුම් එහෙම අඳින්න ආස කෙනෙක් නෙවෙයි. ඒ සීමා ඇතුළත හොඳ වැදගත් අහිංසක චරිතයක් කරන්න කැමැතියි. ඉදිරියටත් එහෙම හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
තරුණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් ජනප්‍රියත්වය පසුපස හඹා යන බවක් අද වන විට අපි දකිනවා. ඒ ගමනේදි හිරුෂි ඉන්නේ කොයි වගේ තැනක ද?
ජනප්‍රියත්වය මනින මිම්ම ලෙස මේ ක්ෂේත්රය තුළින් සම්මාන කියන දේ හෝ කෙනකුට ලැබෙන වැඩිම SMS ගාණ භාවිත කරනවා වෙන්නටත් පුළුවන්.
සමාජයට ගිය විට අපට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් සමඟ ජනප්‍රියත්වය තීරණය කළ යුතුයි කියායි මම නම් හිතන්නේ.
නිර්මාණයකට දායකවීමේදී එහි පිටපත ඔබට කොතෙක්දුරට වැදගත් ද?
මම දැඩි මතකය සිටියා තිරපිටපත කියවන්නෙ නැතිව නිර්මාණයක් භාර ගන්නේ නැහැ කියලා. මොකද මම කරන්න අකැමැති චරිත, අඳින්න අකැමැති ඇඳුම්, කතා කරන්න අකමැති වචන තියෙනවා. මම සීමාවන් සමග වැඩ කරන කෙනෙක් නිසා තිර පිටපත කලින් බලන එක අනිවාර්යෙන් ම වැදගත්. අනිත් එක අපි චරිතයක් කරනවා නම් ඒ තුළ ජීවත්වීමට චරිතය ගොඩනඟා ගැනීමට නම් ඒ චරිතය වගේ ම ඒවටා ඉන්න අන් චරිත ගැනත් හොඳ අවබෝධයක් තිබිය යුතුයි.
ඒ නිසා පිටපතේ අන් චරිතවලත් දෙබස් අනිවාර්යයෙන් ම කියවනවා. මෙහි ඇති විශේෂත්වය නම් එපිසෝඩ් ගණනාවකට අදාළ පිටපත අපට කලින් ලැබෙනවා. එනිසා දර්ශන තලයට යන්නේ හොඳ සූදානමක් සමග. ඒ නිසා පිටපත් රචකයා මවන දර්ශන තලය ම අපට නිවෙසේ සිට මවාගෙන දර්ශන තලයට යන්න අවස්ථාව ලැබෙනවා. එය නිර්මාණයේ පෝෂණයට හරිම වැදගත්.
ඔබ වෘත්තීයමය රංගන ශිල්පිනියක් ද?
නැහැ. මම වෘත්තීයමය වශයෙන් නීතිඥවරියක් ලෙස කටයුතු කරන්න තමයි අනාගත බලාපොරොත්තුව. ඒ අතර දරුවන්ට ඇති කැමැත්ත සහ දැනුම බෙදා දීමට ඇති කැමැත්තට සමාජ සේවයක් ලෙස පරිගණක ගුරුවරියක් ලෙස කටයුතු කරනවා.
අධ්‍යාපනය සහ පවුලේ විස්තර මතක් කළොත්?
මුල් ම අධ්‍යාපනය ලැබුවේ මාතර ඌරුබොක්ක ජාතික පාසලෙන්. ශිෂ්‍යත්වයෙන් පාසලේ පළමුවැනියා වී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අංශයට ඇතුළත් වී අධ්‍යාපනය ලබනවා. ඊට අමතරව ගම්පහ සූර්ය පදනමේ පරිගණක ගුරුවරියක් ලෙස වැඩ කරනවා. මගේ පවුලේ අම්මා, තාත්තා, අක්කයි, මල්ලිලා දෙන්නෙකුයි ඉන්නවා. ඒ අයගෙන් මගේ වැඩවලට ලොකු සහයෝගයක් ලැබෙනවා.
පුංචි තිරයේ තරුණයන්ගේ සිත් වශී කරන හිරුෂි සැබැ ජීවිතයේදිත් ප්‍රේමවන්තියක් ද?
මෙහෙමයි සැබෑ ජීවිතය සහ පෞද්ගලික දේවල් ගැන මම එහෙ ම වැඩිය කතා කරන්නේ නැහැ. සැබෑ දිවියේදී මට ප්‍රේමවන්තයෙක් ඉන්නවා. ඒ දේවල් හරි කාලයේදී මමම කියන්න බලාපොරොත්තු වෙනවා.
– දිනූෂා මනෝරි නිශ්ශංක






