Press "Enter" to skip to content

ඩෙල්ටා ප්‍රභේදයට එන්නත් දක්වන ආරක්ෂාව ගැන අලුත්ම අනාවරණය

ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව එක් එන්නත් මාත්‍රාවකින් ලැබෙන්නේ සියයට 33ක පමණ ප්‍රතිශක්තියක් පමණක් බව ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

එය සැලකිය යුතු මට්ටමක ආරක්ෂාවක් යැයි සැලකිය නොහැකි මෙරට භාවිතා කරන එන්නත් සම්බන්ධයෙන් කළ අලුත්ම පරීක්ෂණවලින් මේ බව හඳුනා ගෙන ඇත.

ඩෙල්ටා ප්‍රභේදයේ ඇති ලොකුම ගැටළුව මෙය බවත් මේ අනුව තනි මාත්‍රාවකින් ආරක්ෂාවක් සැලසෙනු ඇතැයි සිතිය නොහැකි බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

ෆයිසර් එන්නත් මාත්‍රා දෙකෙන් සියයට 85 ක ආරක්ෂාවක් සැලසෙන අතර අස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දෙකෙන්ම ලැබෙන්නේ සියයට 58 ක ආරක්ෂාවක් පමණක් බව ඔහු සඳහන් කරයි.

මෙරට පැතිර ඇති අනෙක් සැර කොවිඩ් ප්‍රභේදය වන ඇල්ෆා ප්‍රභේදයට මෙරට පාවිච්චි කරන සියලුම එන්නත් කාර්යක්ෂම ආකාරයට ප්‍රතිචාර දක්වන බව ජීවන්දර මහතා වැඩිදුරත් සඳහන් කරයි.