Press "Enter" to skip to content

ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ මෙන්න

හිසරදය, උගුරේ අමාරුව සහ නාසයෙන් සොටු දියර ගැලීම කොරෝනාවෛරස ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විට බහුලව වාර්තා වන රෝග ලක්ෂණ බව එක්සත් රාජධානි පර්යේෂකයෝ පවසනවා.

එක්සත් රාජධානියේ ‘Zoe’ කොවිඩ් රෝග ලක්ෂණ අධ්‍යයනය මෙහෙයවන මහාචාර්ය ටිම් ස්පෙක්ටර් පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය වැළඳුනු තරුණ තරුණියන්ට “අධික සෙම්ප්‍රතිශ්‍යාවක් මෙන්” දැනිය හැකි බවය.

ඔවුන්ට එතරම් අසනීප තත්ත්වයක් නොදැනෙන නමුත්, ඔවුන්ගෙන් රෝගය බෝ වීමෙන් අන් අය අවදානමට ලක් විය හැකිය.
තමන්ට කොවිඩ් වැළදී ඇතැයි සිතෙන ඕනෑම අයෙකු පරීක්ෂණයක් සිදු කළ යුතුය.
යම් පුද්ගලයෙකු අවධානය යොමු කළ යුතු සාමාන්‍ය කොවිඩ් රෝග ලක්ෂණ වන්නේ.

කැස්ස
උණ
ගඳ සුවඳ හෝ රසය නැතිවීම

නමුත් මහාචාර්ය ස්පෙක්ටර් පවසන්නේ දැන් මෙම ලක්ෂණ වාර්තා වීමේ අඩුවක් දක්නට ඇති බවය.
කොවිඩ් රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ඇති ජංගම දුරකථන යෙදුමකට දහස් සංඛ්‍යාත පුද්ගලයින් ඇතුළත් කළ දත්ත පදනම් කරගෙන Zoe කණ්ඩායම මෙම නිරීක්ෂණ සිදුකර ඇත.
“මැයි මස ආරම්භයේ සිට, අපි යෙදුම් භාවිත කරන්නන් අතර වැඩියෙන් ඇති රෝග ලක්ෂණ දෙස බලා සිටියා. ඒවා පෙර ඒවාට සමාන වුණේ නැහැ,” ඔහු පැවසීය.

මෙම වෙනසට හේතුව ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරී යාම හා බැඳී ඇති බව පෙනේ. එය ප්‍රථම වරට වාර්තා වූයේ ඉන්දියාවෙනි. මේ වන විට එක්සත් රාජධානියේ කොවිඩ් රෝගීන්ගෙන් 90% ක්ම වාර්තා වන්නේ ඩෙල්ටා ප්‍රභේදයයි.
මහාචාර්ය ස්පෙක්ටර් පවසන්නේ උණ රෝග ලක්ෂණය බහුලව පවතින නමුත් ගඳ සුවඳ නැතිවීම තවදුරටත් පළමු රෝග ලක්ෂණ 10 තුළ දක්නට නොලැබෙන බවය.

උපුටා ගැනීම – බීබීසී සිංහල පුවත් සේවය