මත්පැන් නිවෙස් වෙත ළඟා කර දීමෙන් සපයන්නේ වැරදි පූර්වාදර්ශයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.
අද (ජූනි 16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබා දීමට සහ වෙළෙඳුන්ට තම භාණ්ඩ විකිණීමට නිවැරදි යාන්ත්‍රණයක් නිර්මාණය නොකළ පිරිස්, මත්පැන් විකිණීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කර ඇති බවය.
“ඔය යාන්ත්‍රණය තිබුණේ නැහැ පැන්ෂන් එක මිනිස්සුන්ට ගෙදරට ගිහින් දෙන්න. ඔය යාන්ත්‍රණය අදටත් ක්‍රියත්මක වෙන්නේ නැහැ හරියට ඖෂධ ටික මිනිස්සුන්ට ලබා දෙන්න රෝහලෙන් අරගෙන ගිහිල්ලා. එහෙම නැති යාන්ත්‍රණයක් මත්පැන් සඳහා ඉක්මනින්, කඩිමුඩියේ ලබා දීම ඉතාමත් ම ප්‍රශ්නසහගතයි.”
ඔහු ප්‍රකාශ කළේ, මෙය රට තුළ ක්‍රියාත්මක වන කිසයම් ආකාරයක කුමන්ත්‍රණයක් බව පෙනී යන බවය.
“කොවිඩ් රෝගය පාලනය කරගන්න බැරි කමක් තියෙද්දී, මත්පැන් හරහා තවත් රෝගීන් ප්‍රමාණයක් වැඩි කරලා දෙන්න, ඒ හරහා අතුරු ඵලයක් හැටියට තවත් අනතුරු ප්‍රමාණය වැඩි කරන්න, ගෘහාශ්‍රිත කලහාකාරී තත්ත්වයන් වැඩි කරන්න බලපාන මත්පැන් ඔවුන් සමාජගත කරන්න උත්සහ කරනවා.”
ඒ හරහා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ පමණක් නොව මහ ජනතාව ද අපහසුතාවට පත් වන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දුන්නේ ය.
“මත්පැන් සඳහා ඇබ්බැහි වෙච්ච් පිරිස බොහෝ ම අපහසුවෙන් වුවත් මේ වෙලාවේ ඔවුන් පාලනය කරගෙන යම් කිසි ආකාරයකින් නිවෙස්වලට වෙලා රැඳී ඉන්නවා. ඇබ්බැහි වෙච්ච පිරිස ඉලක්ක කරගනිමින් ඔවුන්ට මත්පැන් සැපයීමේ ක්‍රමවේදයක් සපයනවා කියන එක ඉතා ම ලැජ්ජාසහගත කාරණාවක්.”
වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා තවදුරටත් පෙන්වා දුන්නේ, මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට ආසන්න වශයෙන් 63 දෙනෙකු මිය යන බවත් වසරකට 23,000ක් පමණ මිය යන බවත් ය.
ඒ අනුව, දිනකට කොවිඩ් මරණ ද 60ක් පමණ වාර්තා වන පසුබිමක දිනකට 100කට අධික පුද්ගලයින් පිරිසක් මිය යාමට අවශ්‍ය වාතාවරණය මෙරට තුළ සැකසීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බව ඔහු පැවසීය.
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ, ඉන්ටර්නෙට් ඔස්සේ මත්පැන් අලෙවිකිරීම රට තුළ ඒ සඳහා නියම කර ඇති වයස, වේලාව සහ ස්ථාන යන සීමා ඉක්මවා යනු ඇති බවය.
එමෙන් ම, 2006 අංක 26 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඉන්ටර්නෙට් ඔස්සේ මත්පැන් ප්‍රචාරණය කිරීම පැහැදිලිව ම තහනම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව දන්නා බව තමන් උපකල්පනය කරන බවත් වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුව මෙම ක්‍රියාවලියට සහය දැක්වීම සඳහා පිළිගත නොහැකි තර්ක ඉදිරිපත් කර ඇති බවත් ඔවුන් ඒ සඳහා ස්ථිර සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවත් ඇය මෙම ලිපිය හරහා අවධාරණය කර තිබේ.
වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය තවදුරටත් පෙන්වා දෙන්නේ, මත්පැන් සඳහා වාර්ෂික ආර්ථික පිරිවැය බදු ආදායමට වඩා බෙහෙවින් වැඩි බවත් එබැවින්, මෙරට මත්පැන් අලෙවි නොකරන සෑම දිනක ම රජයට සහ ජනතාවට ශුද්ධ ආර්ථික ප්රතිලාභ ලැබෙනු ඇති බවත් මෙරට සිදු කළ අධ්‍යයනවලින් හෙළි වී ඇති බවය.
ඒ අනුව, සංචරණ සීමා පනවා ඇති කාලය තුළ බදු ආදායම ලෙස රජයට විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුව ද එය එහි එක් පැත්තක් පමණක් බව ඇය අවධාරණය කර ඇත.
එබැවින්, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දැනටමත් බොහෝ දුෂ්කරතාවලින් පෙළෙන සියලු ම ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය තවත් නරක අතට හැරෙන පරිදි ඉන්ටර්නෙට් ඔස්සේ මත්පැන් අලෙවිය සඳහා අවසර ලබා නොදෙන ලෙස තම සංගමය රජයෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.






