දැනට එංගලන්තයේ පැතිර යන ඉන්දීය කොරෝනා වෛරස් ප්‍රභේදය වන ‘ඩෙල්ටා’ ප්‍රභේදයේ ප්‍රධාන රෝග ලක්ෂණ වශයෙන් හිසරදය, උගුර රිදීම හා නාසයෙන් සොටු දියර ගැලීම හඳුනාගෙන ඇති බව එම වෛරස් ප්‍රභේදයට ගොදුරු වුවන් අධ්‍යයනයට ලක් කළ එංගලන්ත වෛද්‍ය පර්යේෂකයන් විසින් ප්‍රකාශ කර තිබේ.
මෙයට පෙර හඳුනාගත් කොරෝනා වෛරස් ප්‍රභේදයන්වල පොදුවේ දක්නට ලැබෙන රෝග ලක්ෂණවලට වඩා මෙම ‘ඩෙල්ටා’ වෛරස් ප්‍රභේදයේ රෝග ලක්ෂණ වෙනස් බවත් එම ප්‍රභේදය වැළඳුණු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අයෙකුට වෙනත් අයට එය වේගයෙන් පැතිරවීමට හැකියාව ඇති බවත් එංගලන්ත මහාචාර්ය ටීම් ස්පෙක්ටර් පවසයි.
‘ඩෙල්ටා’ වෛරස් ප්‍රභේදය තරුණ අයෙකුට වැළඳුණ විට එය නරක් වුණු සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුනා හා සමාන බවත් මේ හේතුවෙන් අදාළ රෝග ලක්ෂණ යමෙකු තුළ දක්නට ඇත්නම් හෝ රෝග ලක්ෂණ දක්නට නොලැබුණද තමන් කොරෝනා ආසාදිතයෙකු බවට සැකයක් මතු වී ඇත්නම් ඔවුන් වහාම කොරෝනා පරීක්ෂණයක් සිදු කරගෙන තත්ත්වය තහවුරු කරගත යුතු යුතු බව මහාචාර්යවරයා කියයි.
එංගලන්තයේ පැතිරෙන ‘ඩෙල්ටා’ වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයනවලදී මෙතෙක් කොරෝනා වෛරස් ආසාදනයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස හැඳින්වුණු කැස්ස, උණ හා ගඳ, සුවඳ හා රස නොදැනීම මෙම වෛරස් ප්‍රභේදය ආසාදනය වුණ අය තුළ පොදුවේ දක්නට නොලැබෙන බව හෙළි වූ බව ඔහු සඳහන් කළේය. ‘ඩෙල්ටා’ වෛරස් ප්‍රභේදය දැනට පැතිරෙන වේගවත්ම හා මාරාන්තිකම වෛරස් ප්‍රභේදය බව පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබේ.






