Press "Enter" to skip to content

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් – සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්

කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 14 වන දින සිට අඛණ්ඩව තවත් සති දෙකක් හෝ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වාදී ඇත්තේ මේ දක්වා ක්‍රි යාත්මක කළ සංචරණ සීමා හේතුවෙන් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ යම් අඩුවක් පෙන්නුම් කරමින් ඇති බවය.

කෙසේවෙතත් සංචරණ සීමා කඩිනමින් ඉවත් කළහොත් ආසාදිතයින් වාර්තාවීම යළිත් ඉහළ යා හැකි බව ඔවුන් පෙන්වාදෙයි.

නිවසකින් පිටව යන පුද්ගලයින් අවම කරමින් සංචරණ සීමා ඉතා තදින් ක්‍රියාකළ යුතු අතර සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ විවෘතව ඇති ආයතන ආශ්‍රිතව පී.සී.ආර් පරීක්ෂණ ඉහළ නැංවිය යුතු බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එමෙන්ම කොවිඩ් බහුල ව්‍යාප්තියක් සහිත රටවල හා මාරාන්තික, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත නව කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවල සංචාරකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලබා නොදිය යුතු බව ද ඔවුන් පෙන්වාදෙයි.

සමාජය තුළ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා අහඹු ලෙස සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සිය ලිපියෙන් පෙන්වාදෙයි.

මේ අතර රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා පනවා ඇති සංචරණ සීමා දැඩිව ක්‍රියාවට නැංවිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

More from GossipMore posts in Gossip »