Press "Enter" to skip to content

ගැබ්බර බිරිය කර තියන් ගංවතුර මැද්දේ කි.මී. 22ක් පයින් ම ගිය සැමියෙකුගේ නොනිමි ආදරයක මහිම

කඳු ගැටිත්ත උඩ තියෙන තේ වත්තේ තියෙන පුංචි කුලී ගෙදරින් එළියට බැහැපු කුමාර තම බිරිය චාන්දනීවත් වත්තම් කරගෙන හෙමින් හෙමින් පල්ලම් බැස්සා.

“ඔයාට අමාරු නැහැ නේද? අපි හිමිහිට යමු” කුමාර ආදරය පිරුණු දයාබර ස්වරයෙන් ඇහුවා.

චාන්දනීගේ මුහුණේ තියෙන්නේ විශාල බියක්. ඒ වගේ ම තිගැස්මක්. ඒත් ඒ බිය හා තිගැස්ම යටපත් කරගෙන චාන්දනී පරිස්සමට ඇවිදගෙන ගියා. ඒ හත් මසක් ගතවුණු දරු ගැබත් ඔසවාගෙන. ඒත් කොහොම යන්න ද හතර වටේ ම ගංවතුරින් යට වෙලා.

“අපේ පුංචි කුලී නිවෙස තියෙන්නේ හිනිදුම, වලවේ ගඟ අසල පිහිටි කොඩිකන්ද වත්තේ. ඉතින් මහ වැස්ස වැහැලා හතර වටේම යටවෙද්දි ඇත්තට ම අපි හුඟාක් අසරණ වුණා. ඒත් මොනවා කරන්න ද මිඩ් වයිෆ් නෝනා මට කිව්වේ පැය 5ක් ඇතුළත ඉක්මනින් ම චාන්දනීව රෝහලකට අරගෙන යන්න කියලයි. ඉතින් මම හිතුවේ ඒක ගැන ම විතරයි. කිලෝමීටර් 18ක් ම එයාව ගංවතුරේ බැහැලා ඔසවාගෙන ආවෙත් ඒ හින්දමයි. මට ඕන වුණේ මගේ බිරියවයි අපේ දරුවවයි බේරගන්න විතරයි මහත්තයෝ,” කුමාර එකදිගට කියාගෙන ගියා.

ඇත්තට ම දැන් ඔබට හිතෙයි අපි මේ කතාව හොයාගෙන යන්න තරම් හේතුවුණු කාරණය මොකක් ද කියලා. මේක හිතාගන්න බැරි විදිහේ පුදු ම කතාවක්. අදහාගන්න බැරි කතාවක්. ආදරණීය ස්වාමිපුරුෂයෙකු තමන්ගේ බිරිය වෙනුවෙන් කළ හෘදයාංගම පරිත්‍යාගයක්. ඒක මේ යුගයේ අපි අහන කතන්දරවලට වඩා වෙනස් ම එකක්.

“කොඩිකන්ද වත්ත ගෙදරින් එළියට බැහැපු ඔය දෙන්නා මුලින් ම එන්නේ හිනිදුම රෝහලට. එහෙම නේද?”

මේ කතාවේ ත්‍රාසජනක හා අදහාගත නොහැකි ඊළඟ පරිච්ඡේදය දැනගැනීමේ අදහසින් මම ඇහුවා.

“අපේ ගෙදර ඉඳලා හිනිදුම රෝහලට කිලෝමීටර් 4ක් වගේ දුරක් තියෙනවා. ඒ පාරත් ගංවතුරට යටවෙලා. ඉතින් අපි ඒ ගංවතුරෙ ම බැහැලා යන්න පිටත් වුණා. චාන්දනීට ඇවිදින්න අමාරුයි. එයා හිටියේ අමාරුවෙන්. ඉතින් මම එයාව උස්සලා මගේ අත්දෙකට ගත්තා. එහෙම ඔසවාගෙන මම හිමින් හිමින් වතුරේ ඇවිද ගියා. අමාරු වුණාම ටිකක් බිමින් තිබ්බා.”

මේ වෙද්දි චාන්දනී හිටියේ එතරම් ම හොඳ සිහියක නෙවෙයි. මොකද ඇය හිටියේ මානසිකව හොඳට ම වැටිලා. මේ බව තේරුම් ගත්ත කුමාර තමන්ගේ වෙහෙස මහන්සිය පවා යටපත් කරගනිමින් ඉවසාගෙන ඉදිරියට ඇදුණා.

චාන්දනී බියෙන් හිටියේ එයාගේ කුසේ ඉන්න දරුවා ගැන. මොකද දවසක දෙකක ඉඳලා ඒ ඉන්න දරුවාගේ කිසිම ප්‍රතිචාරයක් ඇයට දැනුණේ හැඟුණේ නැහැ. මිඩ් වයිෆ් නෝනත් ඒ ගැන පරීක්ෂා කරලා බැලුවා. බලලා තමයි ඉක්මනින් රෝහලකට යන එක හොඳයි කිව්වේ.

“කොහොම හරි ඉතින් මේ අවුල නිසා මමත් බයවෙලා හිටියේ. ඒත් මම ඒක චාන්දනීට පෙන්නුවේ නැහැ. ඒත් බිය හිතේ තිබුණා. අපි විවාහ වෙලා මාස අටයි. දරු ගැබට මාස 7යි. අපිට අත්දැකීම් නැහැ. ඒවා ගැන ලොකුවට දැනීමක් නැහැ. ඉතින් අපි හොඳට ම බය වුණා.”

කුමාරගේ වයස අවුරුදු 28යි. චාන්දනී එක්ක විවාහ වුණාට පස්සේ දෙන්නා හීන මැව්වේ ඉක්මනින් දරු පැටියෙක් හදන්න. ඒ හීනේ හැබෑ කරගන්න හිතාගෙන තමයි කුලුඳුලේ ම කුසට ආපු දරු පැටියා වෙනුවෙන් ඔවුන් දෙදෙනාම හුඟාක් පරිස්සමට ජීවත් වුණේ.

“ජුනි මාසේ 4 වැනිදා උදේ තමයි අපි මෙහෙ ම ගංවතුරෙ ම එළියට බැහැලා හිනිදුම රෝහල බලාගියේ. එදා සිකුරාදා දවසක්. බ්‍රහස්පතින්දා උදේ ඉඳල ම හොඳට ම වැස්සා. හැම පාරක් ම යට වුණේ ඒ වැස්සටයි.”

තමන්ගේ ආදරණීය බිරිය පරිස්සමට ඔසවාගෙන ගිය කුමාර සමහර අවස්ථාවලදී ඒ වෙහෙස මහන්සිය මඳක් දුරුකරගන්න ඇයව බිමින් තැබුවත් එහෙ ම හිටියේ ටික වෙලාවයි. ඊළඟට ආපහු චාන්දනීව අත්දෙකට අරගෙන පරිස්සමට ඉලක්කය බලා පිටත් වුණා.

මේ විදිහට පැයකින් දෙකකින් වගේ හිනිදුම රෝහලට ගිය කුමාරට හා චාන්දනීට දැනගන්න ලැබුණේ තවත් බය හිතෙන, තිගැස්ම ඇති කරන ආරංචියක්.

“මේ අම්මාගේ තත්ත්වය පරීක්ෂා කර බලන්න තරම් පරීක්ෂක යන්ත්‍ර අපේ රෝහලේ නැහැ. ඔයගොල්ලෝ ඉක්මනින් ම උඩුගම රෝහලට යන්න. ඒත් කොහොම ද යන්නේ. අපිට වාහනයක්වත් ලෑස්ති කරලා යවන්න බැහැ. හැම පාරක්ම ගංවතුරින් යටවෙලා.”

හිනිදුම රෝහලේ හෙදියක් එහෙම කිව්වා.

මේ අනුව කුමාර ආපහු සැරයක් චාන්දනීව ඔසවාගෙන ගංවතුරෙ ම ඇවිදගෙන උඩුගම රෝහල කරා ඇවිදගෙන ගියා. ඒ රෝහලට තවත් කිලෝමීටර් 18ක වගේ දුරක් තිබුණා.

මේ විදිහට ඇවිදගෙන එද්දී ඇතැමුන් ඔවුන්ට උදවු කළා. නාවික හමුදා නිලධාරීන්ගේ සහයෝගය ලබාගන්න හිතාගෙනත් කතා කළා. ඒත් ඒ නිලධාරීන් බෝට්ටුවක් ධාවනය කරන්න තරම් ඇතැම් තැන්වල වතුර නැති බව ප්‍රකාශ කළා. ඒකත් බොරුවක් නෙවෙයි ඇත්තක්.

“මම ඔහො ම එද්දී හිනිදුම පල්ලිය කිට්ටුවදී මහත්තයෙක් මුණගැහුණා. ඔහුත් මගෙන් විස්තර අහලා උදවු කරන්න ඉදිරිපත් වුණා. ඒත් ගංවතුරේ ඒ මහත්තයා කියලා මොනවා කරන්න ද?”

හිනිදුමදී හමුවුණු මේ සංවේදී හදවතක් ඇති මනුස්සයා වුණේ ශෙහාන් මාලක ගමගේ. ඔහු මේ දෙන්නා වතුරේ බැහැගෙන ඉදිරියට ඇවිද යන ඡායාරූප කිහිපයක් ගත්තා විතරක් නෙවෙයි, ඒ සංවේදී අවස්ථාව ගැන පුංචි සටහනක් ලියලා ෆේස්බුක් හිතමිතුරන් අතරත් බෙදාහැරියා. ඇත්තට ම ඒ සටහන නිසා තමයි කුමාර හා චාන්දනී ගැන බොහෝදෙනාගේ අවධානය යොමු වෙන්නේ.

“ඒ මහත්තයාගේ සටහන නිසා ෆේස්බුක් එකේ ඉන්න හුඟක් දෙනෙක් ඇතැම් තැන්වලදී මට උදවු කරන්න ඉදිරිපත් වුණා. කන්න බොන්න පවා දුන්නා. ඔය විදිහට මම අර ගංවතුරේ බැහැගෙන කිලෝමීටර් 18 ගෙවාගෙන උඩුගම රෝහලට එද්දී හුඟාක් හවස් වුණා.

ඇත්තට ම ගැබ්ගත් අම්මා කෙනෙක්ව ඔසවාගෙන එච්චර දුරක් මම කොහොම ආවද කියලා මම දන්නේ නැහැ. ධෛර්යය නිසාම එන්න ඇති. නැත්නම් ඕනෑකම නිසාම වෙන්න ඇති මම එහෙ ම ආවේ.

සමහර අවස්ථාවලදී මට මහන්සි බව දැනගෙන චාන්දනී බිමට බැස්සා. බැහැලා පුංචි දුරක් හිමිහිට ඇවිද ගියා. ඒත් එයාට එහෙම එක දිගට යන්න බැහැ. සමහර වෙලාවට හීන්පොද වැසි, තවත් සමහර වෙලාවට මහා ධාරානිපාත වැසි. මේ හැම අභියෝගයකට ම මම මුහුණ දුන්නා. අධිෂ්ඨානය අත්හැරියේ ම නැහැ. ඇඟපත රිදුණා. ඒත් චාන්දනීට පෙන්නුවේ නැහැ.”

ඔබ මේ සටහන කියවන අතරේ මෙහි ඇති කුමාරගේ ඡායාරූප දිහා ටිකක් බලන්න. ඔහු හොඳින් වැඩුණු උස මහත කෙනෙක් නෙවෙයි. සිහින් සිරුරකින් හෙබි පුද්ගලයෙක්. ඒත් ඒ පුංචි ශරීර කූඩුව අභිභවා යන ශක්තිමත් හිතක් ඔහුට තිබුණා. පිටතින් බලන අපිට ඒ බව පෙනෙන්නේ නැහැ. නමුත් තිබුණා. මනුස්සයෙකුට තිබෙන්න ඕන යහපත් දේකට යොදවන අන්න ඒ වගේ හිතක් තමයි.

මේ විදිහට කුමාර උඩුගම රෝහලට ආවා. එහෙම ආපු ගමන්ම ඔහු මේ සිදුවීම රෝහලේ හෙද සොයුරියන් එක්ක කිව්වා. ඔවුන් වහා අවශ්‍ය කරන මූලික ප්‍රතිකාර ටික ලබාදීලා ඉක්මනින්ම ගිලන් රථයක් ලෑස්ති කරලා චාන්දනීව ගාල්ල මහ මෝදර රෝහලට පිටත් කර යවන්න කටයුතු කළා.

චාන්දනීව රෝහලට බාර කරපු කුමාර යළිත් මහ රෑ 9ට විතර පාගමනින්ම උඩුගම සිට හිනිදුම පිහිටි නිවෙස බලා එන්න පිටත් වුණා. ඒ ඉන්න හිටින්න, කන්න බොන්න තැනක් මේ සංචරණ සීමා කාලේ හොයාගන්න අපහසු නිසා.

“ඔය විදිහට මම ඇවිදගෙන එද්දි උඩුගම හන්දියට ටිකක් දුරින් තියෙන බාර් හන්දිය කියන හරියෙදි මාව පොලිසියෙන් නවතා ගත්තා. කොහේද යන්නේ කියලා ප්‍රශ්න කළා. ඒ පාර මම චාන්දනී ගැන කිව්වා.”

මේ කාලයේ ඉන්නා තරුණ පොලිස් නිලධාරීන් බොහොමයක් සමාජජාල වෙබ් අඩවි පරිශීලනය කරන පිරිස බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ මේ දුගී දුප්පත් අඹු-සැමි යුවළගේ කතන්දරයද ඔවුන් දැන සිටියා. ඒ අර අපි මුලින් කිව්ව ශෙහාන් මාලකට පින් සිදුවෙන්න.

“එතකොට ඔය දෙන්නා ගැනද ඒ ලියා තිබුණේ. හරි… කොහේවත් යන්න එපා. දැන් රෑ වෙලා… ඔයා අර ගොඩනැඟිල්ල ළඟට ගිහින් ඒකෙ ඇතුළට වෙලා ඉන්න.”

එසේ කියූ මේ මානුෂිකභාවයකින් හෙබි පොලිස් නිලධාරීන් කුමාරට කන්න බොන්න පවා රැගෙනවිත් දුන්නා.

“ඇත්තට ම ඒක විශාල පිනක්. මොකද මම හිටියේ මාරම මාර මහන්සියකින්. මුළු ඇඟ ම රිදෙනවා. ඒත් මම ඉවසගෙන ආවේ කොහොමහරි ගෙදර එනවා කියලා හිතාගෙනයි.”

ඇත්තට ම ඔබට පුදුම හිතෙනවා ඇති නේද? ඒ කියන්නේ මේ වගේ තරුණ ස්වාමිපුරුෂයන් අපේ සමාජයේ ඉන්නව ද කියලා. එහෙම අය ඉන්නවා. ඒත් ප්‍රසිද්ධ වෙන්නේ නරක ම නරක චරිත ගැන විතරයි.

කෙසේ හෝ ඊළඟට දවසේ හිමිදිරිය උදාවුණා. කුමාර අර විදිහටම පාරට බැහැලා ගෙදර යන්න ලකලෑස්ති වුණා. ඒත් ඊට කලින් අර පොලිසියේ මහත්වරුන්ට අනේක වාරයක් ස්තුති කළා.

එහෙම ස්තුති කරලා මම ආපහු පාගමනින්ම ගෙදර ආවා. ඒක හරි ම වෙහෙසකරයි. ඒත් ගෙදර ඇවිත් ආපහු මම මහමෝදර රෝහල බලා යන්න පිටත් වුණා. ඒ ගමන කිලෝමීටර් 35ක වගේ දුරක්.

කුමාර ඒ ගමනත් අර විදිහටම යන්න පිටත් වුණා. එහෙම යද්දි ගංවතුරින් පිරී ඉතිරී තිබෙන පාරවලදී පාගමනින් ගිහින් ඊටපස්සේ පාරේ යන වාහනවලට අතදාලා විස්තරේ කියලා මහමෝදර රෝහල බලා ආවා. ඒත් පාගමනින් ආපු කිලෝමීටර් ගණන නම් 20කටත් වැඩියි.

මේ විදිහට මහමෝදර රෝහලට ඇවිත් චාන්දනීගේ දුක සැප විමසා බැලූ කුමාරට සැනසුම් සුසුම් හෙළන්න වාසනාව ලැබුණා. ඒ වෛද්‍යවරුන්ගේ විධිමත් පරීක්ෂණවලින් පසුව හෙළි වූ කරුණු නිසා.

“බය වෙන්න එපා තාත්තේ දරුවට මුකුත් වෙලා නැහැ. අපි අවශ්‍ය හැමදේම කළා. දැන් බය නැතුව අම්මව අරන් ගෙදර යන්න පුළුවන්. හැබැයි ලබන මාසේ ඇවිත් වාට්ටුවට ඇතුළු වෙන්න. දරුවා කරදරයක් නැතිව ලැබේවි.”

මේ සතුටුදායක වාක්‍ය පේළි කිහිපය ඇහුවට පස්සේ කුමාරගේ හිතට දැනුණේ කියන්න බැරි තරමේ සතුටක්.

“අපි හුඟාක් දුප්පත්. චාන්දනීගේ පවුලේ අයත් ජීවත් වන්නේ තේ දලු කඩලා. මම කරන්නෙත් ඒ රස්සාව ම යි. කොහොමහරි කොරෝනා නිසා දැන් ඒ රස්සාව අපිට කරන්නත් බැහැ. දැන් අපිට ඉන්න කුලී ගෙදරිනුත් යන්න වෙලා. ඒ වෙලාවට කුලී ගෙවන්න තරම්වත් සල්ලි නැති නිසා. අන්ත අසරණ තත්ත්වයකට පත්වුණු අපිට සල්ලි හිඟයි. ඒත් ඉතින් මොනවාහරි කරලා මම මගේ බිරියව පරිස්සම් කරගන්න ඕනනේ මහත්තයා. මේ අපේ පළමු දරුවානේ. එයා ගැනත් බලන්න ඕනනේ,” කුමාර හිමිහිට කිව්වා.

දමිළ තරුණයෙකු වූ කුමාර විවාහ වී සිටින්නේ සිංහල තරුණියක වූ චාන්දනී කුමාරි සමගයි. පිවිතුරු ආදරයට හා හදවත්වල ශක්තිමත් බැඳීම්වලට ජාති හා ආගම් භේද අදාළ ම වන්නේ නැති බවටත් මේ කතාව කදි ම ආදර්ශයක්.

කෙසේ හෝ මේ වෙද්දී චාන්දනී හා කුමාර යළිත් කොඩිකන්ද වත්ත කුලී නිවෙසට පැමිණ පෙර පරිදි ම ජීවත්වෙනවා. නමුත් වැස්ස තවමත් අඩුවක් නැහැ. ගංවතුර අවදානමත් පහවගොස් නැහැ. ඒත් ඔවුන් හෙට දවස ගැන යහපත් විදිහට මෙනෙහි කරමින් ජීවත් වෙනවා.

“මම දරුවා ගැන ලොකු බියකින් හිටපු නිසා මම කොහොම රෝහල දක්වා ගියාද? මට මොනවද වුණේ කියලා කිසි ම දෙයක් මතකයට එන්නේ නැහැ. මගේ සැමියා මාව ඔසවාගෙන ගියා. ගංවතුර සැරයි. ඒත් ඒක මට දැනුණේ නැහැ.

ඒත් දැන් මම කල්පනා කරනවා එයා කොහොම ද එච්චර දුරක් මාව ඔසවාගෙන ගියේ කියලා. ඇත්තටම ඒක පුදු ම වැඩක්. දැන් මට ඒ නිසාම එයා ගැන පුදුමාකාර විදිහේ ආදරයක් ඇති වෙලා.”

මේ සටහන අවසන් කරන්න කලින් චාන්දනී කියූ ඒ වාක්‍ය කිහිපය මම ඔබ හමුවේ තැබුවේ කුස තුළ සිටින මවක තුළින් අප දකින පෙර ප්‍රසව මානසික ආතතිය කොයිතරම් සංකීර්ණදැයි ඔබට මතක් කරන්නයි.

අපි අතර ඉන්න බොහෝ ගැහැනුන් මවුවරුන් වෙනවා. ඒ මවුවරුත් කුස තුළ ඉන්න දරුවා බිහිකරන්න පෙර වගේ ම පසුවත් අතිවිශාල මානසික ආතතියකට මුහුණදෙනවා. ඒකට හේතුවෙන්නේ කුස තුළ වැඩෙන දරුවා වෙනුවෙන් ඇගේ ශරීරයේ පෝෂණය ශීඝ්‍රයෙන් වැය කරන හින්දා.

ඉතින් මේ තත්ත්වය වෛද්‍යවරු හඳුන්වන්නේ පෙර ප්‍රසව හා පසු ප්‍රසව මානසික ආතතිය කියලා. චාන්දනීත් ඒ ආතතිය තුළ ඉන්නවා. ඒක හැම ගැහැනියකට ම පොදු දෙයක්. ඉතින් දුකක් කරදරයක් ඉදිරියේ ඇතිවන ඒ ආතතිය සාමාන්‍ය අවස්ථාවට වඩා වැඩියි. අම්මා කෙනෙක් වෙන්න ඉන්න හා මවක් වුණු කාන්තාවක් දිහා අපි සංවේදී ඇසකින් බැලිය යුතු වන්නේ ඒ නිසා ම යි. කුමාර ඒක දැන හෝ නොදැන කළා. ගර්භණී වී සිටින තමන්ගේ බිරියව හොඳින් තේරුම් ගත්තා. ඔහු පරිත්‍යාගශීලී ආදර්ශවත් ස්වාමිපුරුෂයෙකු වුණේ ඒ නිසයි.

More from GossipMore posts in Gossip »