Press "Enter" to skip to content

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ගැන අතිවිශේෂ ගැසට් පත්‍රයක්

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ එල්.පී. ගෑස් සිලින්ඩර දිවයින පුරා මිලට ගැනීමට පැවතිය යුතු බවට නිෂ්පාදකයන්ට දන්වමින් සහ එම සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම වළක්වමින් අද (ජූනි 9) සිට බල පැවැත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 බරැති ගෘහස්ථ ගෑස් සිලින්ඩර, දිවයින පුරා සිය අලෙවි සල් තුළ මිලදී ගැනීම සඳහා තිබිය යුතු බවට එම ගෘහස්ථ සිලින්ඩර නිෂ්පාදකයින් හා වෙළෙඳුන් වෙත, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ගැසට් පත්‍රය මගින් විධාන කර තිබේ.

එමෙන් ම, රට තුළ වෙළඳාම් කිරීම සඳහා කිලෝග්‍රෑම් 12.5 බරැති ගෘහස්ථ ගෑස් සිලින්ඩර තම සන්තකයෙහි හෝ භාරයෙහි හෝ තම පාලනය යටතේ ඇති කිසි ම වෙළෙන්දෙකු එම ගෘහස්ථ ගෑස් සිලින්ඩර විකිණිම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රාකාරයෙන් පාරිභෝගිකයින්ට බලපෑම් කිරීම නොකළ යුතු බවට ද එම ගැසට් පත්‍රය මගින් විධාන කර ඇත.

මේ අතර, ගෑස් සිලින්ඩර වල ධාරිතාව අඩු කර කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයේ මිලට වඩා රුපියල් 100ක් පමණක් අඩු කර පසුගිය දා වෙළෙඳපොළට නිකුත් කර තිබිණි.

ඊට මහ ජනතාවගේ සහ සිවිල් ක්‍රියාකාරිකයින්ගේ විරෝධය පළ විය.

More from GossipMore posts in Gossip »