එළැඹෙන එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ නව විස්සයි විස්ස ක්‍රිකට් නායකයා වශයෙන් දසුන් ශානක වෙනුවට එක්දින නායක කුසල් ජනිත් පෙරේරාවම පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
නිමාවට පත් වූ බංග්ලාදේශ තරග සංචාරයට පෙර එක්දින නායකයා වශයෙන් කුසල් ජනිත් පෙරේරාත්, විස්සයි විස්ස නායකයා වශයෙන් දසුන් ශානකවත් පත්කොට තිබියදී දසුන්ව අදාළ තනතුරෙන් ඉවත් කිරීම මේ වන විට ක්ෂේත්රයේ කතාබහට ලක්වන කාරණයක් වී තිබේ.
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් 2019 වසරේ පැවැති එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් මගහරින අවදියක විස්සයි විස්ස නායකයා වශයෙන් මුල්වරට තේරී පත්වූ දසුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සමගින් 3-0ක් ලෙසින් අදාළ ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.
එම තරගාවලියෙන් පසුව සිය නායකත්වයේ වගකීම ඉටු කිරීමට ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසයන්හි පැවැති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ අවස්ථාව උදා වුවද, වීසා ගැටලුවක් හේතුවෙන් විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගි වීමට දසුන්ට නොහැකි වූයේය.
එවැනි පසුබිමක පවා විස්සයි විස්ස නායකයා වශයෙන් නම් කර තිබියදීත්, වෙනත් විස්සයි විස්ස තරගාවලියක නායකත්වයේ හැකියාව උරගා බැලීමටවත් අවස්ථාවක් නොදීම දසුන්ව නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේද, යන සැකය මේ වන විට මතුව තිබේ. කෙසේ නමුත් දසුන්ව එංගලන්තය සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලියට අදාළ සංචිතය සඳහා ඇතුළත්ව සිටී.
අදාළ එක්දින සහ විස්සයි විස්ස තරග සංචාරය සඳහා 28 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇතැයි සඳහන් වේ. බංග්ලාදේශ තරගාවලියේදී සේම අදාළ සංචිතයටත් දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඇතුළත්ව නැත. ඇන්ජලෝ මැතිව්ස් මෙම සංචිතය සඳහා ඇතුළත්ව සිටියද, පෞද්ගලික හේතුවක් මත ඔහු සංචාරය සඳහා සහභාගි වන්නේ නැත.
මේ අතර හිටපු ක්‍රිකට් නායකයින් වන සනත් ජයසූරිය සහ තිලකරන්ත දිල්ශාන් ඇතුලු කිහිප දෙනෙක්ගේ සහභාගිත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (31 වැනිදා) පැවැති සාකච්ඡාවකදී ඔවුන්ද කියා සිටියේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් සියලුදෙනාම නැතත් කිහිපදෙනෙක් හෝ වර්තමාන ශ්‍රී ලංකා පිලට ඇතුළත් විය යුතු බවය.
බංග්ලාදේශ සංචාරය සඳහා එක් නොවූ සධීර සමරවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, චරිත් අකලංක, කමිල් මිශාර, ධනංජය ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ඉශාන් ජයරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු මෙම සංචාරයට ඇතුළත්ව සිටී. ශාරීරික යෝග්‍යතාව අසමත් වීමෙන් නිමාවට පත් වූ බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ තරගාවලිය අහිමි වීමෙන් අනතුරුව අවිශ්ක මෙම සංචිතයට සුදුසුකම් ලබා තිබුණි.
දෙරට අතර විස්සයි විස්ස තරග පිළිවෙළින් මේ මස 23, 24 සහ 26 වැනිදාත්, එක්දින තරග පිළිවෙළින් ජුනි 29, ජුලි 01 සහ ජුලි 04 වැනිදාත් පැවැත්වෙනු ඇත.