Press "Enter" to skip to content

”පුද්ගලික අංශයට කොවිඩ් එන්නත් මිල දී ගත හැකිදැයි ඇහුවේ දැඩි පීඩනයක් එල්ල වූ නිසා”

පෞද්ගලික අංශයෙන් කොවිඩ් එන්නත් මිල දී ගැනීමට හැකියාවක් ඇති ද යන්න පිළිබඳව අදාළ එන්නත් නිෂ්පාදන ආයතනවලින් විමසීමක් කළේ, විවිධ පාර්ශව ඒ සඳහා දැඩි පීඩනයක් එල්ල කළ නිසා බව ඖෂධ නීතීගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ, පෞද්ගලික අංශයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් ඇස්ට්‍රාසෙනෙකා ආයතනය නිකුත් කළ ලිපයක් පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳ අදහස් දක්වමිනි.

පුද්ගලික අංශයෙන් එන්නත් මිල දී ගැනීම සිදු නොකරන ලෙසත් රජය මගින් එන්නත් මිල දී ගැනීම සිදු කරන ලෙසත් යන්න අදාළ ලිපියේ මූලික අදහස බව සභාපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් බොහෝ පුද්ගලික අංශ, විවිධ පුද්ගලයින්, විවිධ පක්ෂ හා විවිධ පාර්ශව මේ සම්බන්ධයෙන් දැඩි පීඩනයක් එල්ල කිරීම හේතුවෙන් ගිවිසුම්වල ඇති කරුණුවලට අමතරව, අදාළ සියලු නිෂ්පාදන සමාගම්වලින් එවැනි තත්ත්වයක් යටතේ ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? යන්න විමසූ බව සභාපතිවරයා සඳහන් කළේ ය.

ඒ අනුව, අදාළ නිෂ්පාදන සමාගම් බලය පවරන ලද නිලධාරීන්ගෙන් හෝ බලය පවරන ලද ආයතනයකින් හැර එම එන්නත් මිල දී ගැනීම සිදු නොකළ යුතු බව එම සමාගම් ලිපි ලේඛන මගින් නැවත වරක් දැනුම් දුන් බව සභාපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

More from GossipMore posts in Gossip »