Press "Enter" to skip to content

අඛණ්ඩව සති දෙකක් රට ලොක්ඩවුන් කරන්නැයි වෛද්‍ය සංගම් 4ක් බලකරයි

ලබන අඟහරුවාදා සංචරණ සීමා ලිහිල් නොකර දිනක 14ක් අඛණ්ඩව සංචරණ සීමා පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, පසුගිය සතිවල දින කිහිපයක් පමණක් සංචරණ සීමා පැනවීමට ගත් තීරණය කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති තත්ත්වයක් බවය.

“පසුගිය දිනවල කරපු දින තුනේ කරපු ලොක් ඩවුන් එක එක්තරා විදියකින් වැඩක් නැති දෙයක්. ඒක අත්හදා බැලීමක් වුණාට විද්‍යාත්මක පසුබිමක් නෑ. රජයෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා අඟහරුවාදා අරින්න එපා. එහෙම වුණොත් මේ දවස් 5න් ගන්න ප්‍රයෝජනය නැතිව යනවා. ඒ නිසා මේක ගෙනියන්න දවස් 14ක් අවම වශයෙන්. ඉදිරියේ දී මියයන ගණන 100 ගණනක් වෙන්න පුළුවන්.“

වසංගත රෝග විද්‍යා අංශය සහ රජය, විද්වතුන්ගේ අදහස් ලබාගැනීමට ක්‍රියා නොකළහොත් පවතින තත්ත්වය තවදුරටත් භයානක විය හැකි බව විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළේ, දැනට පවතින තත්ත්වයට එකම විසඳුම දින 14ක් දැඩි සංචරණ නීති ක්‍රියාත්මක කිරීම වන බවය.

“දවස් තුනක ලොක්ඩවුන් එකකින් රෝගය පාලනය කළ නොහැකියි. අතරමැද්දේ නිවාඩු දින දීලා, ඒ දිනයේ දී සමාජයේ එළියට ඇවිත් යළි එකතු වෙලා නැවත යන විට අපි රෝගය අලුතින් බෝකර හමාරයි. අතරමැද නිවාඩු දින දීම අනුමත කළ නොහැකියි. මේ අනුව අපට හිතෙනවා දින 14ක ඇඳිරිනීතිය හෝ දැඩි සංචරණ සීමා පැනවිම මඟින් අපි සියල්ලම ගෙවල්වලට කොටුවෙන්න පුළුවන්.“

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමට ඉතා වේගයෙන් ළඟාවෙමින් පවතින බවද විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය අවධාරණය කළේය.

අද දින කොළඹ පැවති මාධ්‍ය හමුවට වෛද්‍ය සංගම් 4ක් එක්ව සිටි අතර එම සංගම් පහතින් දැක්වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යාතන කමිටුව

More from GossipMore posts in Gossip »