මිහින්තලේ සිප්පුකුලම ප‍්‍රදේශයේ වෙළෙඳසලක් පවත්වාගෙන යන එහි හිමිකරු බව කියන උතුරුමැද පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයේ කළමනාකරණ සහකාරවරයෙකු ලෙස සේවයෙහි නියුතු පුද්ගලයෙකුට සහ ඔහුගේ පස්මස් ගැබිනි බිරිඳට අනුරාධපුර රඹෑව ප‍්‍රාදේශීය සභාවේ සභාපති අනුර ප‍්‍රසන්න තෙන්නකෝන් සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක් විසින් පෙරේදා (17* රාත‍්‍රී සිදුකළ පහරදීමකින් තුවාල ලබා ඔවුන් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
මිහින්තලේ සිප්පුකුලම ප‍්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි ප‍්‍රසාද් ප‍්‍රියංකර ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ විසිනව හැවිරිදි මධුෂ්කා තිලක්ෂි සේමසිංහ නමැති දෙදෙනා මෙසේ තුවාල ලබා ඇත.
ඔවුන් දෙදෙනා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (17* රාත‍්‍රි 9.35 ට පමණ මිහින්තලේ පොලිසිය වෙත පැමිණිල්ලක් කොට ප‍්‍රතිකාර සඳහා මිහින්තලේ ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත්වීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.
මේ අතර සිද්ධිය වූ අවස්ථාවේ වෙළෙඳසලේ හිමිකරු සහ වෙළෙඳසල අසල සිටි ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් තමාට පහරදුන් බව පවසමින් පෙරේදා (17* රාත‍්‍රී 9.40 ට පමණ මිහින්තලේ පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති රඹෑව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඊයේ (18* පෙරවරුවේ ප‍්‍රතිකාර සඳහා රඹෑව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ඇත.
හොරොව්පොතාන ප‍්‍රදේශයේ සිට පෙරේදා (17* රාත‍්‍රී සිප්පුකුලම මංසන්ධියේ ආපන ශාලාවක් වෙත පැමිණ ඇති ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනා ඉන් රාත‍්‍රි ආහාර ගැනීමට සුදානම්ව එම ආපන ශාලාවට යාබදව පිහිටි සිල්ලර බඩු වෙළෙඳසලෙන් භාණ්ඩ මිලදී ගෙන ඇත.
එම අවස්ථාවේ තමා විසින් ලබා ගත් භාණ්ඩවලට ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා ලබා දුන් මුදලට රුපියල් දහ තුනක ඉතිරි මුදල ලබාදීමට නොතිබූ බැවින් ඒ වෙනුවට වෙළෙඳසලේ හිමිකරු විසින් ඔහුට ටොපි තුනක් ලබා දී තිබේ.
එම අවස්ථාවේ ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා සහ වෙළෙඳසලේ හිමිකරු අතර බහින්බස්වීමක් හටගෙන ඇති අතර එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා පැවසුවේ යම් කාරණයක් සම්බන්ධයෙන් තමා සහ තම ඥාතියෙකු වන වෙළෙඳසලේ හිමිකරු අතර බහින් බස්වීමක් සිදුවීම හැරුණුවිට දෙපාර්ශ්වය අතර ගුටිබැට හුවමාරුවක් සිදු නොවූ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයේ මිහින්තලේ පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.






