Press "Enter" to skip to content

කොරෝනා කත රෝහල් ගෙනගියාට අසල්වැසි පිරිසක් රතිඤ්ඤා පත්තු කරලා

කොරෝනා ආසාදිත වූ කාන්තාවක රෝහල්ගත කරන්නට රැගෙන යාමෙන් පසු කිසියම් පිරිසක් එම කාන්තාවගේ නිවෙසට රතිඤ්ඤා දල්වා විසි කර දමා අමන සතුටක් පළකළ බව කියන පුවතක් පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ලැබී ඇතැයි බස්නාහිර පළාතේ පොලිස් ස්ථානයකින් පසුගියදා අසන්නට ලැබිණි.

නිරෝධායනයට ලක් කර සිටි මෙම නිවැසියන් සදහා පී.සී.ආර්. පරීක්ෂණයක් කළ පසු මෙම කාන්තාව කොරෝනා ආසාදිත බව හෙලිවී ඇත. ඒ අනුව සෞඛ්‍ය බලධාරීහු ඇය රෝහල් ගත කරන්නට ගෙන ගොස් ඇත්තේ සුවසැරිය ගිලන් රියක් මගිනි.

ඇය රෝහල්ගත කරන්නට ගෙන ගොස් ටික වේලාවකට පසු මෙම නිවෙස අසලට රතිඤ්ඤා දල්වා දමා කෑකෝ ගසා ඇති අතර අනතුරුව නිවැසියන් මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැන්වීමට පියවර ගෙන ති‍බේ. ඒ අනුව ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ නිලධාරි පිරිසක් සිද්ධිය පිළිබඳව විමර්ශනයක් කර ඇතත් මේ ක්‍රියාවට සම්බන්ධ වූවන් අනාවරණය කර ගැනීමට ඒ අවස්ථාවේ හැකිවී නැත.

කිසිවකුගේ රෝගි තත්ත්වයක් හේතුකොට ගෙන සතුට පළ කරන්නට තරම් වත්මන් සමාජය මේ තරම් පහත් හැසිරීමක් පෙන්නුම් කිරීම සමාජයේ පිරිහීම ‍පෙන්වා දෙන කැඩපතක් බව පැවසූ විමර්ශනයට ගිය පොලිස් නිලධාරීහු කෙසේ වෙතත් අනෙක් පාර්ශවයේත් බරපතළ අඩුපාඩුවක් ඇතැයි සැක කරන බව සඳහන් කළහ.

More from GossipMore posts in Gossip »