ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කපිල විජේමාන්න ඉඟිනියාගල පොලිසියේ ස්ථානාධිපතිවරයා විදිහට රාජකාරි කරන කාලේ එක්තරා කාන්තාවක් හඬා වැලපෙමින් පොලිසියට දුවගෙන ආවා.
‘අනේ සර් මගේ මිනිහා මට කරදර කරනවා අහුවෙච්ච අහුවෙච්ච එකෙන් ගහනවා. මටයි මගේ දරුවන්ටයි කන්න බොන්න දෙන්නෙ නැහැ. උන් බඩගින්නේ මැරෙනවා. මට සාධාරණයක් කරලා දෙන්න.
කාන්තාවගේ වැලපීමට පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාකි නිල ඇඳුමට යටින් තිබුණු හදවතත් උණුවුණා. කපිල විජේමාන්න ඒ මොහොතෙම මේ කාන්තාවගේ සැමියා පොලිසියට ගෙන්නුවා.
‘තමුන් මොකක්ද කරන රැුකියාව. ස්ථානාධිපතිවරයා විමසුවා.’
‘සර් ඉඟනියාගල ජලාශයේ මාළු අල්ලලා ජීවත් වෙන්නේ. රස්සාව හරියට කරගන්න බැරි නිසා සල්ලි හම්බවෙන්නෙ නැහැ’ අර කාන්තාවගේ සැමියා කිව්වා.
තමුන්ට දරුවෝ කී දෙනෙක් ඉන්නවද? කපිල විජේමාන්න අර කාන්තාවගෙන් ඇහුවා.
සර්… මට ළමයි එකොළොස් දෙනෙක් ඉන්නවා. මං කොහොමද උන්ව බලාගන්නේ. මේ මිනිහා කන්න බොන්න දෙන්නෙ නැහැ. උන් දවසේ වැඩි හරියක් හාමතේ ඉන්නේ. කාන්තාව හැඬු කඳුළින් උත්තර දුන්නා.
මේ කාන්තාවට ළමයි එකොළහක් ඉන්නවා කිව්වම ස්ථානාධිපතිවරයාත් උඩ විසිවුණා.
ඉතිං ඒක කොච්චර හොඳ දෙයක්ද? අද කාලේ දරු සම්පත තමයි වටිනාම දේ. තමුනුත් සතුටු වෙන්න ඕනේ තමුන්ගේ බිරිඳ දරුවෝ 11 දෙනෙක් හැදුවට.
කපිල විජේමාන්න එහෙම කිව්වම අර කාන්තාවගේ සැමියා දත්මිටි කන්න පටන් ගත්තා.
අනේ සර්…. ඔය දරුවෝ එකොළොස් දෙනාගෙන් දෙන්නෙක් තුන් දෙනෙක් හැරෙන්න අනිත් උන් මගේ නෙවෙයි.
ඒ කතාව ඇහුවම ස්ථානාධිපතිවරයා යළිත් උඩ විසිවුණා.
ඒ මොකක්ද ඒ කතාවේ තේරුම. කුතුහලයෙන් යුතුව ස්ථානාධිපතිවරයා විමසුවා.
සර් ඔය දරුවන්ගෙන් හත් අට දෙනෙක්ම මගේ අනෙක් සහෝදරයෝ දෙන්නගේ දරුවෝ. උන් දරුවෝ හදලා දීලා පැත්තකට වෙලා ඉන්නවා. උන්ව පෝෂණය කරන්න ඕනේ මම. ඒක හරි අසාධාරණයි නේ සර්….
කාන්තාවගේ සැමියා දුන්න උත්තරෙන් ස්ථානාධිපතිවරයා හොල්මන් වුණා. හැඬූ කඳුළෙන් උන්න අර කාන්තාවත් මේ සංවාදය අතරට පැන්නා.
ඉතිං ඕයි ඒ දරුවෝ හැදුවේ තමුසේගේ සහෝදරයා කියලා තමුසෙගෙ අම්මත් දන්නවනේ. කාන්තාව ඇඟට පතට නොදැනෙන්න කිව්වා.
කොහොමටත් සර් මට බෑ එක එකා හදාපු දරුවන්ට වියදම් කරන්න. උන්ට වියදම් කරන්න උන්ගේ තාත්තලාගෙන් සල්ලි
ඉල්ලගන්න කියන්න. කාන්තාවගේ සැමියා නොක්කාඩු ස්වරයෙන් කිව්වා.
හරි… හරි… දැන් වෙච්ච දේවල්වලට කරන්න දෙයක් නැහැ. තමුන්ගේ නීත්‍යනුකූල සැමියා දරුවෝ පෝෂණය කරන එක තමුන්ගේ යුතුකම.
අර කපුටු කූඩුවේ කොහා බිත්තර දාලා ගියාම කපුටෝ ඒ පැටවුන්ව පෝෂණය කරන්නේ. අන්න ඒ වගේ තමුනුත් කොහොමහරි මේ දරුවෝ ටික පෝෂණය කරනවා. උන් ලොකු මහත් වුණාම තමුන්ටත් ලොකු හයියක්නේ. විජේමාන්න අඹු සැමි යුවළට අවවාද කළේය.
සර්… මට ධීවර රස්සාව කරන්න දැල් ආම්පන්න නැහැ.දහඅතේ කල්පනා කර කර ඉන්නෙ දැල් ආම්පන්න ගන්න. ඒ ටික ගත්තොත් මට කොහොම හරි රස්සාව කරලා මේ දරුවෝ ටික බලාගන්න පුළුවන්.
කාන්තාවගේ සැමියා තිත්ත ඇත්ත හෙළිකළා. අන්තිමේදී කපිල විජේමාන්න මැදිහත්වෙලා පොලිස් නිලධාරීන්ගේ දායකත්වයෙන් අර මනුස්සයට ධීවර ආම්පන්න සේරම අරගෙන දුන්නා.
අද ඉඳලා තමුන්ගේ බිරිඳ එක්ක සංතෝෂයෙන් ජීවත්වෙන්න ඕනේ. දරුවන්ට අඩුපාඩුවක් කරන්න බැහැ.
ස්ථානාධිපතිවරයා එහෙම කිව්වා. ගැටලූව බොහොම සාධාරණව විසඳීම ගැන අඹු සැමි යුවළ ස්ථානාධිපතිවරයාට ස්තූති කළා. පොලිසියෙන් පිටවෙලා යන්න ඉස්සර අර මනුස්සයා කපිල විජේමාන්න මහතාට මෙහෙම කිව්වා.
‘අනේ සර්… මේ ගෑනිට තියෙන්නේ පුදුම විසයක්. මට මේ ගෑනිව පාලනය කරන්න බැහැ. සර් දැන්වත් කියලා මේ ගෑනිට ඔය ළමයි හදන එක නතර කරලා දෙන්න. නැත්නම් මට තව ළමයි හතර පස් දෙනෙක් අලූතින් පෝෂණය කරන්න වෙනවා. ඒ කතාව ඇහුවම පොලිස් නිලධාරිනුත් මුහුණෙන් මුහුණ බලාගත්හ.






