කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ගර්භණී කාන්තාවන් 70 දෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චිත්රාමලී ද සිල්වා මහත්මිය පවසයි.
දැනට පවතින දත්ත අනුව ගැබිණි කාන්තාවන් 70 දෙනෙකු පමණ කොරෝනාවෛරසයට ගොදුරු වූ බව වාර්තා වුව ද ආසාදනය වූවන් පිළිබඳව තවමත් මූලාශ්‍ර සොයමින් පවතින බැවින් ආසාදිත ගැබිණි කාන්තාවක් සංඛ්‍යාව තවත් ඉහළ යාමේ ඉඩකඩක් තිබෙන බව වෛද්‍යවරිය පැවසීය.
ඇය ප්‍රකාශ කළේ, ගර්භණී කාන්තාවන් හැකි තාක් ආරක්ෂිතව නිවසට වී සිටින ලෙසත් වැඩි පිරිසක් ඒකරාශි වන ස්ථානවලට යාමෙන් වළකින ලෙසත් ය.
තව ද ගර්භණී තත්ත්වයේ පසුවන කාන්තාවක කොරෝනාවෛරසය ආසාදනය වී සුව වූ පසුව ඇයට ගර්භණී සමය ගත කිරීම සඳහා පහසුවක් වන ආකාරයට පවුලේ අනෙකුත් සාමාජිකයන් සහය විය යුතු බව ද ඇය පැවසීය.
එවන් කාන්තාවක සුව වූ පසු විශේෂයෙන් පිළිපැදිය යුතු පිළිවෙත් නොමැති බවත් ගර්භණී සමයේ ලබා දෙන විටමින් පෙති, යකඩ පෙති ආදිය නිසියාකාරව භාවිත කරන ලෙසත් වෛද්‍ය චිත්රාමලී ද සිල්වා මහත්මිය උපදෙස් ලබා දුන්නා ය.
තව ද ගර්භණී කාන්තාවන්ගෙන් පෝෂදායී ආහාර ලබාගන්නා ලෙස ද ඇය ඉල්ලීමක් කළා ය.
මීට අමතරව ඇය පැවසුවේ, කුඩා දරුවන් නිවෙස් තුළ ආරක්ෂිතව තබා ගන්නා ලෙස ය.
නිවසේ යමෙකුට අසනීප තත්ත්වයක් ඇත්නම් රෝග විනිශ්චයක් කරගන්නා තෙක් කුඩා දරුවන් අදාළ රෝගියාට නිරාවරණය වීමට දීමෙන් වළකින ලෙස ද වෛද්‍ය චිත්රාමලී ද සිල්වා මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.






