Press "Enter" to skip to content

ලිට්රෝ ගෑස් මිල ඉස්සීමේ හයිබ්‍රිඩ් උප්පරවැට්ටිය මාට්ටුවෙයි

රජයට කොටස් හිමි ලිට්‍රෝ ගෑස් සමාගම අලුතෙන් හඳුන්වා දීමට යන දෙමුහුන් (හයිබ්‍රිඩ්) ගෑස් සිලින්ඩරයට අනුව පාරිභෝගිකයාට ගෑස් කිලෝවක් සඳහා රුපියල් 32.52ක් වැඩිපුර ගෙවීමට සිදුවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා කියා සිටියේය.

දැනට භාවිත වන කිලෝ 12.5 බරුති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයට අනුව ගෑස් කිලෝවක මිල වන්නේ රුපියල් 119.44කි.

කෙසේවුවද, අලුතින් හඳුන්වා දීමට යන කිලෝ 9.18ක සිලින්ඩරයක මිල අනුව ගෑස් කිලෝවකට රුපියල් 151.96ක් ගෙවීමට පාරිභෝගිකයාට සිදුවෙයි.

දැනට පවතින ගෑස් සිලින්ඩරය රුපියල් 1493කට අලෙවිකරන අතර අලුත් හයිබ්‍රිඩ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1395ක් වෙයි.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාතය ලසන්ත අලගියවන්න මහතා මෙම අලුත් සිලින්ඩරයෙන් රුපියල් 100ක වාසියක් පාරිභෝගිකයාට ලැබෙන බව පැවසුවද සත්‍ය තත්ත්වය වන්නේ වැඩියෙන් ගෙවන්නට සිදුවීම බව ඔහු පෙන්වා දෙයි.

2003 අංක 9 දරන පාරිභෝගික සේවා අධිකාරි පනතේ 18 වැනි වගන්තිය ප්‍රකාරව ගෘහස්ථ ගෑස් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට ගැසට් කර පාලන මිලක් නියමකර තිබේ.

එහෙත් වෙනත් ගෑස් සිලින්ඩර් වර්ගයක් සඳහා පාලන මිලක් නොපවතී.

කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයට ගැස් කිලෝ 9.18 පුරවා වෙනත් නමකින් අලෙවි කිරීම නීති විරෝධී වන අතර තමා දැනටමත් ඒ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කර ඇති බවත් ඔහු පැවසීය.

More from GossipMore posts in Gossip »