Press "Enter" to skip to content

වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවෙකු MA උපාධිය ගනී

දීර්ඝ කාලීන සිරදඬුවම් විඳිමින් සිටින වැලිකඩ බන්ධනාගාරගත රැඳවූවකු වන චන්දන ගුරුසිංහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන සිටී.

බන්ධනාගාරගතව සිට අධ්‍යාපනය ලබමින් සමාජ විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය හිමිකරගත් දෙවැනි රැඳවූවා වන්නේ චන්දන ගුරුසිංහයි. මීට පෙර එවැනිම විෂය ධාරාවක් යටතේ ශාස්ත්‍රපති උපාධියක් හිමිකරගත් පළමු රැඳවූවා බවට පත්වෙමින් බන්ධනාගාර ඉතිහාස පොතට එක්වූයේ මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට ලක්ව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන ඉන්දික බමුණුසිංහ නමැත්තායි.

පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතාගේ මඟපෙන්වීම යටතේ එම උපාධිය හිමිකරගත් චන්දන ගුරුසිංහ සිය දර්ශනපති උපාධිය ලබාගැනීම සඳහා ඉදිරියේදී කැලණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වීමටද නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසන්නේ ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත් චන්දන ගුරුසිංහ නමැති අය බන්ධනාගාරයේ අධ්‍යාපනය ලබමින් බෞද්ධ ධර්මාචාර්ය විභාගයද ඉතා විශිෂ්ට අන්දමින් සමත්ව ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් මීට පෙර එළිදක්වන ලද ‘සිපිරි ගෙය පාමුල’ කාව්‍ය සංග්‍රහයේ සංස්කාරකවරයා වශයෙන්ද මොහු කටයුතු කර ඇති බවත්ය.

ඔහු විසින් රචිත ‘සඳ කිඳුරා හිර ගෙදර’ නමැති කෘතියක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

More from GossipMore posts in Gossip »