වෛද්‍යවරයෙකු විසින් මියගිය බවට තහවුරු කර මෘත ශරීරාගාරයට යැවූ පුද්ගලයෙකුට නැවත සිහිය ලැබීමේ පුවතක් මීගමුව මහ රෝහලෙන් වාර්තා වී තිබුණි.
මීගමුව මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය නිර්මලා ලෝගනාදන් මහත්මිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භකර ඇති බවය.
“එම සිදුවීමට අදාළව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ මගපෙන්වීම යටතේ රෝහල අපරාධ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. ඉදිරි පියවර ගන්න වාර්තාව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත යවනවා,” මීගමුව මහ රෝලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිර්මලා ලෝගනාදන් මහත්මිය පැවසුවාය.
මීගමුව දුංගල්පිටිය පිටිපන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ඇලෙක්සැන්ඩර් සිල්වා මීගමුව මහ රෝහලට ඇතුළත් කෙරුණේ ඊයේ (09) දිනයේදීය.
ඒ ඔහුගේ රුධිරයේ සීනී මට්ටම අඩුවීම හේතුවෙනි.
බාහිර රෝගී අංශයේදී රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයෙකු පවසා ඇත්තේ, රෝගියා මියගොස් ඇති බවය.
පසුව රෝහල් කාර්යමණ්ඩලය රෝගියා යොමුකර තිබුණේ, මෘත ශරීරාගාරය වෙතය.
සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පොලීසිය කළ දැනුම්දීමකට අනුව රෝගියාගේ බිරිඳ මෘත ශරීරාගාරයට පැමිණ තිබුණි.
“මම එයා ළඟට යනකොට ඉටි රෙද්දෙනුත් වහලයි තිබුණේ. මම ඉටිරෙද්ද ඇරලා බැලුවා. මම කෑ ගහනකොට එයා කට හෙළෙව්වා. එහෙම්මම එයා ට්‍රොලියෙන් බැහැලා ඇඳටත් ගියා. දැන් හොඳින් ඉන්නවා. මොළය මැරිලයි කියලා තමයි කියලා තිබුණේ,” ප්‍රතිකාර ලබන ඇලෙක්සැන්ඩර් සිල්වාගේ බිරිඳ දීපිකා සජානි පැවසුවාය.
පසුව බිරිඳ කෑ ගසමින් රෝහල් කාර්ය මණ්ඩලයට පවසා ඇත්තේ, තම සැමියා මියගොස් නැති බවය.
වහාම ක්‍රියාත්මක වූ රෝහල් කාර්යමණ්ඩලය රෝගියා 4 වෙනි වාට්ටුවට ඇතුළත් කිරීමට පියවරගෙන තිබුණි.
කෙසේවෙතත් මියගිය බව පැවසීමත් සමග රෝගියා පැය 2කට ආසන්න කාලයක් මෘත ශරීරාගාරයේ ට්‍රොලියේ රැඳී සිට තිබුණි.
මූලික වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ රුධිරයේ සීනි මට්ටම අඩුවී රෝගියා සිහිසුන්ව සිට ඇති බවය.






