Press "Enter" to skip to content

ඉදිරි සති දෙකට මුහුණ දෙන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ උපදෙස්

ඉදිරි සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ වායුගෝලීය උෂ්ණත්වය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කරයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේ, අප්‍රේල් 5 වන දා සිට 15 වන දා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයාගේ පිහිටීම සිදුවන බවය.

ඒ හේතුවෙන් සමස්ත දිවයිනෙහි ම වායුගෝලීය උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

‘වැඩි අවධානයක් යොමු කළ යුතු දිස්ත්‍රික්ක’

ඒ අනුව, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක 6 තුළ උෂ්ණත්වය ඉහළ යාම වැඩි වශයෙන් සිදුවිය හැක.

මෙම තත්ත්වය හමුවේ ඇති විය හැකි සංකූලතා පහත දැක්වේ.

  1. විජලනය සහ ලවණ ඉවත් වීම නිසා ඇති වන මස්පිඩු වපරලීම (heat cramps)
  2. අධික උෂ්ණත්වය නිසා ඇති වන අධික මහන්සිය (heat exhaustion)
  3. ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇති වන ආඝාත තත්ත්වය (heat stroke)

මේ අතර, කොළඹ ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ද ඉදිරි සති දෙක තුළදී උෂ්ණත්වය ඉහළ යාමේ අවදානමක් පවතින බවට අනාවැකි පළ කෙරේ.

එම දිස්ත්‍රික්කවල ජනතාවට ඇති විය හැකි සංකූලතා මෙසේය.

  1. තෙහෙට්ටුව
  2. මස්පිඩු පෙරළීම
  3. විජලනය

මෙම තත්ත්වය හමුවේ, කුඩා දරුවන් සහ මහලු පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු පියවර මොනවා ද?

*වැඩ බිම් තුළ: ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්න.

*නිවෙස් තුළ: වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව සැලකිලිමත් වන්න.

*වාහන තුළ: කුඩා ළමුන් වාහන තුළ තනිව රඳවා නොයන්න.

*එළිමහනේදී: අධික මෙහෙසකාරී කටයුතු සීමා කරන්න. සෙවණ ඇති ස්ථානවල රැඳෙන්න. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.

*ඇඳුම්: සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන්න.

More from GossipMore posts in Gossip »