ඉදිරි සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ වායුගෝලීය උෂ්ණත්වය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කරයි.
එහි නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේ, අප්‍රේල් 5 වන දා සිට 15 වන දා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයාගේ පිහිටීම සිදුවන බවය.
ඒ හේතුවෙන් සමස්ත දිවයිනෙහි ම වායුගෝලීය උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
‘වැඩි අවධානයක් යොමු කළ යුතු දිස්ත්‍රික්ක’
ඒ අනුව, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක 6 තුළ උෂ්ණත්වය ඉහළ යාම වැඩි වශයෙන් සිදුවිය හැක.
මෙම තත්ත්වය හමුවේ ඇති විය හැකි සංකූලතා පහත දැක්වේ.
- විජලනය සහ ලවණ ඉවත් වීම නිසා ඇති වන මස්පිඩු වපරලීම (heat cramps)
- අධික උෂ්ණත්වය නිසා ඇති වන අධික මහන්සිය (heat exhaustion)
- ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇති වන ආඝාත තත්ත්වය (heat stroke)
මේ අතර, කොළඹ ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ද ඉදිරි සති දෙක තුළදී උෂ්ණත්වය ඉහළ යාමේ අවදානමක් පවතින බවට අනාවැකි පළ කෙරේ.
එම දිස්ත්‍රික්කවල ජනතාවට ඇති විය හැකි සංකූලතා මෙසේය.
- තෙහෙට්ටුව
- මස්පිඩු පෙරළීම
- විජලනය
මෙම තත්ත්වය හමුවේ, කුඩා දරුවන් සහ මහලු පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු පියවර මොනවා ද?
*වැඩ බිම් තුළ: ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්න.
*නිවෙස් තුළ: වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව සැලකිලිමත් වන්න.
*වාහන තුළ: කුඩා ළමුන් වාහන තුළ තනිව රඳවා නොයන්න.
*එළිමහනේදී: අධික මෙහෙසකාරී කටයුතු සීමා කරන්න. සෙවණ ඇති ස්ථානවල රැඳෙන්න. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.
*ඇඳුම්: සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන්න.






