Press "Enter" to skip to content

”රේගුවට ආරක්ෂා කරන්න බැරි දේ ආයෙත් රේගුවට ම දුන්නේ ඇයි?”: අධිකරණයේදී පොලිසියට කටඋත්තර නැතිවෙයි

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග නොතකමින්, පිළිකා කාරක අඩංගු බවට සැක පොල් තෙල් බවුසර් දෙක රේගුවට භාර දීම පිළිබදව මාරවිල මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා අද (31) දංකොටුව පොලිසියට දැඩි ලෙස අවවාද කළ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් ද කරන ලදී.

මාර්තු 29 වන දින රාත්‍රියේ දංකොටුව පොලිසිය මගින් පොල් තෙල් සහිත මේ බවුසර් දෙක අත්අඩංගුවට ගෙන තිබිණි . ඉන් අනතුරුව ඊයේ පස්වරුවේ මාරවිල මහේස්ත්‍රාත්වර අධිකරණයට මේ පිළිබඳව කරුණු වාර්තා කර ඇති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ, බවුසර් අධිකරණ භාරයේ තබා රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙසය.

එහෙත් පොලිසිය අධිකරණයේ නියෝගය නොතකමින් අද පෙරවරුවේ පොලිස් ආරක්ෂාව සහිතව එම බවුසර් දෙක ශ්‍රී ලංකා රේගුවට භාර දීමට පියවර ගෙන තිබිණි.

අද පස්වරුවේ මේ සම්බන්ධ නඩුව මාරවිල අධිකරණයේ නැවත කැඳවූ අවස්ථාවේ මාරවිල මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මෙසේ විමසා සිටියේය.

මහේස්ත්‍රාත්වරයා: තෙල් බවුසර් දෙකේ රස පරීක්ෂක වාර්තා ගන්න කටයුතු කළා ද?

ස්ථානාධිපති: නැත ස්වාමිනි. පොලිස් නීති කොට්ඨාසයේ උපදෙස් පරිදි බවුසර් දෙක පොලිස් ආරක්ෂාව සහිතව ශ්‍රී ලංකා රේගුවට භාර දුන්නා.

මහේස්ත්‍රාත්වරයා: පොලිසිය කරන්නේ අධිකරණයේ නියෝග ක්‍රියාත්මක කිරීම ද? නැත්නම් පොලිස් නීති කොට්ඨාසයේ නියෝග ක්‍රියාත්මක කිරීම ද?

ස්ථානාධිපතිවරයා: (නිහඩයි)

මහේස්ත්‍රාත්වරයා: මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගත්ත ද?

ස්ථානාධිපතිවරයා: නැත ස්වාමිනි

මහේස්ත්‍රාත්වරයා: රේගුවට ආරක්ෂා කර ගන්න බැරි වුණ දේ ආයේ රේගුවට දීලා වැඩක් තියනව ද? මේක තීරණයක් ගන්න තිබුණේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවලා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිය යුතුයි.

ඒ අනුව ස්ථානාධිපතිවරයා ප්‍රකාශයක් ලබා දුන්නේය.

ප්‍රකාශය අවසානයේ මහේස්ත්‍රාත්වරයා විමසුවේ, තමා ඊයේ දුන් නියෝගය ක්‍රියාත්මක නොකළේ ඇයි ද? යනුවෙනි.

ස්ථානාධිපතිවරයා: ඒ ගැන දන්නේ නැහැ ස්වාමිනි.

මහේස්ත්‍රාත්වරයා: ඊයේ උසාවි ආවේ කවුද?

ස්ථානාධිපතිවරයා: මොහු ස්වාමිනි.

මහේස්ත්‍රාත්වරයා: තමන් උසාවි නියෝගය වාර්තා කළේ නැද්ද?

පොලිස් නිලධාරියා: (නිහඬව සිටී)

මහේස්ත්‍රාත්වරයා: මේ පිළිබඳව විමර්ශනයක් කරන්න කියලා පොලිස්පතිවරයාට නියෝගයක් කරනවා . ඒ වගේ ම ඒ වාර්තාව අප්‍රේල් 21 වන දා අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. මේ බවුසර් රේගුවට දෙන්න ඕනෑ නම් ඇයි අධිකරණයට ඉදිරිපත් කළේ?

පොලිස් ස්ථානාධිපතිවරයා: නිහඬව සිටී.

මේ තෙල් බවුසර් දෙක තුළ ලීටර් 55000 කට ( පනස් පන්දහසක්) ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිසිය ඊයේ පැවසීය.

අදාළ බවුසර් දෙක පසුගිය 25 දින සිට දංකොටුවේ ජයකොඩි මෝල පිටුපස ස්ථානයක සඟවා තිබූ බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මහත් ආන්දොලනයකට ලක්ව ඇති පිළිකා කාරක අඩංගු විෂ පොල් තෙල් සම්බන්ධව නැගෙන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ අතරතුරදී මෙම පොල් තෙල් නිෂ්පාදනාගාරයේ මෙසේ සඟවා තිබු පොල් තෙල් තොගය සිය භාරයට ගත් බව පොලිසිය පවසයි.

එදිරිසිංහ එඩිබල් ඔයිල් ප්‍රයිවට් ලිමිටඩ් නැමති ආයතනයට අයත් බවුසර් දෙකක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම බවුසර් දෙක රැගෙන ආ රියැදුරන් දෙදෙනා ප්‍රශ්න කිරීමෙන් පසුව මුදා හැර තිබිණි.

More from GossipMore posts in Gossip »