පවුල් ආරවුලක් හේතුවෙන්, බිරිඳ විසින් තම සැමියාව නිදි යහන මතදීම ඝාතනය කළ පුවතක් දංකොටුව, කොස්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ (27) රාත්‍රීයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි අප කළ විමසීමකදී කොස්වත්ත පොලිසිය සඳහන් කළේ.
මිය ගොස් ඇත්තේ රජවත්ත, බටහිර, කිරිමැටියාන පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක්.
ඝාතනය වූ පුද්ගලයා සහ සැකකාර කාන්තාව අතර නිරන්තරයෙන්ම පවුල් ආරවුල් තිබී ඇති බවයි පොලිස් පරීක්ෂවලදී හෙළි වී ඇත්තේ.
ඔවුන්ගේ පවුල් ආරවුල් පිළිබඳව පැමිණිලි 30කට වැඩි ප්‍රමාණයක්, කොස්වත්ත පොලිසියට පසුගිය කාලය තුළ ලැබී ඇති බවද පොලිසිය සඳහන් කළා.
27 වැනිදා රාත්‍රීයේදී දෙදෙනා අතර නැවත පවුල් ආරවුලක් ඇති වී තිබෙන බවත්, එම අවස්ථාවේදී නිදි යහනේ සිටි සැමියාව බිරිඳ විසින් රෙදි කඩකින් මුහුණ තද කර ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
ඝාතනය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර කොස්වත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.






