Press "Enter" to skip to content

හාල් මිල වැඩිවීම ලොකු ගැටළුවක් නෙවෙයි… පීඩිත පන්තිය අය අපේ හාල් කන්නෙ නෑ

මෙවර කන්නයෙන් වී අතිරික්තයක් ඇතැයි ආණ්ඩුව පවසන කරුණ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් රට තුළ අවශ්‍ය ප්‍රමාණයට වී නිෂ්පාදනය වී නොමැති බවත් දිවයිනේ ප්‍රධානතම සහල් නිෂ්පාදකයකු වන, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

ප්‍රශ්නය – මේ සැරේ සිංහල අවුරුද්දට ගෙදරක බතක් උයන එකත් නැතිකරන්නද ඔබතුමන්ලා හදන්නෙ ?

“මම හදපු මිලක් නෙවෙයි මේක”

ප්‍රශ්නය – ඒ වුණාට දැන් චෝදනාව එල්ල වෙන්නෙ විශාල මෝල්හිමියන් තුන්දෙනෙක් තමයි මිල ඉහළ දාන්නෙ කියලා ?

“ඔය චෝදනාවක් විතරයිනෙ තියෙන්නෙ”

ප්‍රශ්නය – ආණ්ඩුව වී මිලදී ගන්නවා රුපියල් 50ක වගේ මිලකට. ඔබතුමන්ලා ඊට වඩා මිලක් දීලා ගන්නවා …

“ඕවා මගෙන් අහලා හරියන්නෑනෙ. ඔයා රජයෙනුත් අහන්න ඕනෙ මේක. ඇයි ඔයාලා වැඩියෙන් ගන්නෙ කියලා”

ප්‍රශ්නය – ඔබතුමාගෙ අයියා ජනාධිපතිවෙලා ඉන්නකොට මෙච්චර පාලන මිලක් දැම්මෙ නෑ. ඒකාලෙ ඔබතුමන්ලා මීට වඩා අඩු මිලකට තමයි වී මිලදී ගත්තෙ …

“හාල් වල මිල ඉහළ යෑම් කවදාටත් සිදුවුණා. නමුත් කවදාවත් ගොයම් කපන අවස්ථාවක මෙවැනි සිදුවීමක් වෙලා නෑ”

ප්‍රශ්නය – මොකද්ද මේකට හේතුව ?

“අවශ්‍ය තරමට වී නෑ”

ප්‍රශ්නය – ආණ්ඩුව නම් කියන්නෙ මේ සැරේ වී අතිරික්තයක් තියෙනවා කියලා …

“වී සම්බන්ධව කියන කතාව විශාල බොරුවක්. පහුගිය කන්නවල වී ප්‍රමාණයක් අපෙ ගබඩාවල ස්ථිරවම ගබඩා කිරීමක් තිබ්බා. පිටරටින් හාල් ගෙන ඒම ප්‍රතිපත්තියක් වශයෙන් නතර කරලා තියෙනවා, ඒ අනුව ඔක්කොම ගබඩාවල වී ඇටයක්වත් නැතුව සියලුම දේ හිස්වුණා”

ප්‍රශ්නය – දැන් මේ තියන තත්වයත් එක්ක ආණ්ඩුව හදනවා සහල් ආනයනය කරන්න …

“ඒක එයාලට අයිති දෙයක්. ඒක මට අදාළ නෑ. හාල් විතරද ප්‍රශ්නෙ ඔයාට ? ඇයි අනිත් ඒවා අහන්න බැරි ඔයාට ? ඇයි මේ හාල් විතරක් ඔයාලට මෙච්චර පේන්නෙ ?”

ප්‍රශ්නය – මිනිස්සු වැඩියෙන් කන්නෙ බත්නෙ ලංකාවේ …

“බත් ටික කන්න තරම් ආර්ථික ශක්තියක් රට තුළ ගොඩනැඟීමේ ප්‍රශ්නය මගෙන්ද අහන්නෙ ඔයා ?”

ප්‍රශ්නය – ඉස්සරහට හාල් කොච්චර මිලකට යයිද ? දැන් 98ත් පැනලා මේ වෙනකොටත් මිල යනවා 130ක් විතර සම්බා හාල් ?

“රුපියල් 100කට වැඩිය හාල් වැඩිවීම නම් එහෙම ලොකූ ගැටළුවක් නෙවෙයි”

ප්‍රශ්නය – ඒ වුණාට සාමාන්‍ය පාරිභෝගිකයින්ට නම් අමාරුයි ඒක …

“ඔය කියන පීඩිත පන්තියෙ මිනිස්සු අපෙ හාල් කන්නෙ නෑ”

ප්‍රශ්නය – කෘෂිකර්ම ඇමතිවරයා කිව්වා තීරණයක් අරන් තියෙන්නෙ මේ හාල් මාෆියාවට ගහන්න කියලා …

“ජනතාව වෙනුවෙන් නම් ඒක වඩාත් හොඳ ක්‍රියාමාර්ගයක්. ඒක කුඩුකරන්න. ලංකාවෙ සුරක්ෂිත ව්‍යාපාරයක් තිබ්බෙ රටේ ප්‍රධාන ආහාරය බත් එකටයි. ඒකට ගහපු දවසට බලාගන්න පුළුවන්. දැන් මම කිව්වනෙ එක වෙලාවක ආණ්ඩුවට ඔච්චර අමාරුවක් තියෙනවා නම් මගෙ ඔය මෝල සල්ලි ටික දීලා ගන්න කියලා. ඒක අදටත් වලංගුයි”

ප්‍රශ්නය – ඔබේ අලුත් හෝටලයක් විවෘත කළා. චෝදනාව තමයි රූමස්සල කැලයක් කපලා ඔබතුමා පාරක් හදනවා කියලා …

“සීඅයිඒ එකෙන් එහෙම ගියෙ නැද්ද එහෙ ? මාධ්‍ය එක්ක කේන්තියෙන් ඉන්නෙ. මේ සියලු ප්‍රශ්නවලට වගකියන්න ඕනෙ මාධ්‍ය. මං අභියෝග කරනවා, කැලේ කැපුවාද පාර කැපුවාද හාල් හොරට විකුණුවාද … යකෝ මට විතරයිද ඕවා තියෙන්නෙ ? මම ඉතාම වගකීමෙන් කියන්නෙ, ඒ පාරට මගෙ කිසිම සම්බන්ධයක් නෑ. ඔයා හිතනවද මම ඕකට සම්බන්ධයි නම් මෙච්චරකල් මේ කට්ටිය නිකං ඉඳියි කියලා ? ඔයාලා නිකං ඉඳියිද හිරු එක ?”

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විශේෂාංග වැඩසටහනකට එක් වෙමිනි.

More from GossipMore posts in Gossip »