සෙල්සියස් අංශක ඍණ 15ක් වැනි දරුණු සීතල අතරතුර, බැලේ ඇඳුමකින් සැරසී පරිසරය සුරැකීම වෙනුවෙන් නර්තනයක නිරත වූ බැලේ නර්තන ශිල්පිණියෙකු පිළිබඳව රුසියාවෙන් වාර්තා වේ.
ඉල්මීරා බැග්‍රොටිනෝවා නම් ඇය, සුප්‍රකට මාරින්ස්කි රඟහලේ නර්තන ශිල්පිණියෙකි.
චයිකොව්ස්කි ගේ ‘ස්වෝන් ලේක්’ බැලේ වෘතාන්තයේ සංගීතයට ඇය නර්තනයේ යෙදෙන්නේ සීතලට මිදුනු රුසියාවේ Batareinaya නම් බොක්කේ සිටයි.
මෙය, රුසියාව,එස්ටෝනියාව හා ෆින්ලන්තය අතර පිහිටා ඇති විශාල ෆින්ලන්ත බොක්කේ කොටසකි.
ශාන්ත පීටර්ස්බර්ග් නුවරට කි.මී. 100ක් පමණ බටහිරින් පිහිටි මෙම ප්‍රදේශය ජනප්‍රිය මුහුදු වෙරළක්ද වේ.
සීතලට අයිස් වී ඇති Batareinaya බොක්කේ සිට ඉල්මීරා මෙලෙස නර්තනයේ යෙදෙන්නේ විරෝධතාවක් ලෙසයි. ඒ, මෙම බොක්කේ වරායක් ඉදිකිරීමට ගනිමින් ඇති පියවර වලට විරෝධය දක්වමිනි.
මේ හේතුවෙන් මුළු ෆින්ලන්ත බොක්කේම පරිසර පද්ධතියට අහිතකර බලපෑමක් ඇති විය හැකි බවත්, ප්‍රදේශවාසීන් බිය පළ කර ඇති බවත් ඇය පවසයි.
මෙම ව්‍යාපෘතිය නවතා දමා, විවිධ දුර්ලභ සතුන් වෙසෙන මෙම වෙරළබඩ ප්‍රදේශය විනාශයට පත්වීම වළක්වන මෙන් මහජනයා රුසියානු ජනපති පුටින් වෙත පෙත්සමක් ද ඉදිරිපත් කර ඇත.
මෙම ප්‍රදේශය හංසන් හට නිවහනක් ද වන අතර, ‘ස්වෝන් ලේක්’ (හංස විල) සංගීතයට නර්තනය සිදුකරමින් විරෝධය දැක්වීමට ඉල්මීරා හට අදහසක් පහළ වී ඇත්තේ ඒ අනුවයි.
ඇගේ වීඩියෝවට ඉහළ අවධානයක් ලැබුණු බවත්, මෙවැනි සුවිශේෂී ස්ථාන සංරක්ෂණය කළ යුතු බවට සිය වෘත්තිය සගයන්ගෙන් හා මිතුරු මිතුරියන් රැසකගේ සහය ලැබුණු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.






