රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සති 7ක බිළිඳියක් කොරෝනා ආසාදනයවීමෙන් පැවැති රෝගී තත්ත්වය උත්සන්න වී මීට දින දෙකකට පෙර මියගොස් තිබේ.
එලෙස කොරෝනා ආසාදිතව මියගොස් තිබුණේ වැලිමඩ ප්‍රදේශයේ බිළිඳියකි.
රෝගී තත්ත්වයක් මත එම බිළිඳිය ප්‍රථමයෙන් වැලිමඩ රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදී කළ පරීක්ෂාවලින් දරුවාගේ වම් පෙනහළුවේ රෝගී තත්ත්වයක් හඳුනාගෙන තිබේ.
පසුව, වැලිමඩ රෝහලින් බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇති අතර එම රෝහලේදී කරන ලද පරීක්ෂාවෙන් බිළිඳියගේ හෘදය වස්තුවේ ජලය පිරී ඇති බවට හඳුනාගෙන තිබුණි.
බිළිඳියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් එහිදී තහවුරු වී ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් කරුණු දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා අද (07) මාධ්‍ය වෙත පැවසුවේ, “එම බිළිඳියගේ මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිඅතර පියාද ඒ වනවිට නිරෝධායනය වෙමින් සිට තිබෙනවා. අසාධ්‍ය තත්ත්වයේ පසුව ඇති බිළිඳිය පසුගිය 05 වැනිදා අලුයම 03.00ට පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණා. එතැන් පටන් පැය 05ක පමණ කාලයක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා තිබෙනවා. කෙසේවෙතත් බිළිඳියගේ උපතින්ම තිබූ සංකූලතා මත කොරෝනා වෛරසයත් ආසාදනයවීම නිසා හෘදය දැඩි ලෙස ආසාදිත වීමෙන් ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වූවා.”
ඒ හේතුවෙන් බිළිඳියගේ ජීවිතය බේරාගැනීමට හැකියාවක් නොතිබුණු බවත් කොරෝනා වෛරසය ආසාදනය නොවී තිබුණා නම් බිළිඳියගේ ජීවිතය බේරාගැනීමට ඉඩ තිබුණු බව විජේසුරිය මහතා පැවසීය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත බිළිඳියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ඥාතීන්ට භාරදී ඇති බවත් නියමිත පරිදි අදාළ ස්ථානයක භූමදානය කෙරෙනු ඇති බවත් විජේසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් තත්ත්වය පිළිබඳව ද අධ්යක්ෂවරයා අදහස් පළ කළේය.
”මේ වෙද්දී රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්වය ඉතාම හොඳයි. මීට සති කිහිපයකට පෙර සතියකට කොරෝනා ආසාදිතයින් 15ක් 20ක් පමණ වාර්තා වූ නමුත් දැන් සතියකට එක් ආසාදිතයෙකු මට්ටමට අඩුවෙලා තිබෙනවා. කාර්යමණ්ඩලයේ කිසිවෙකුත් පසුගිය දිනවල ආසාදිත බව වාර්තා වුණේ නැහැ. මෙම තත්ත්වය එක්ක රෝහලේ සායන, නේවාසික ප්‍රතිකාර ඉතා හොඳ තත්ත්වයෙන් සිදුකෙරෙන අතර ජනතාවද බියක් නොමැතිව රෝහලට පැමිණෙන තත්ත්වයක් තිබෙනවා. මේ වෙද්දී ආරම්භකර තිබෙන එන්නත්කරණ වැඩපිළිවෙල, දැනුවත් කිරීම, වෛරසය මර්දනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග යන සියලුම කාරණා නිසා ඉදිරියේදී ඉතා ඉක්මණින් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට හැකි වෙයි.”






