මාර්තු මැද හා අප්‍රේල් මාසවලදී ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ශ්‍රී ලංකාවට දීමට පොරොන්දු වූ කොරෝනා මර්ධන එන්නත් ලක්ෂ 15 ඉතිරි කොටස පොරොන්දු වූ වකවානුව ඇතුළත ශ්‍රී ලංකාවට නොලැබෙන බව වාර්තා වේ. තම සමාගමට අලුතෙන් ලැබී තිබෙන ඉල්ලීම් සහ සිය කර්මාන්තශාලාවේ ඇතිවූ ගින්න මෙම එන්නත් ප්‍රමාදයට හේතුව බව ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගම කියයි.
එන්නත් නිෂ්පාදන සැලසුම්වලට “බාධාවක්” ඇති බවත්, තම කර්මාන්තශාලාවේ ඇතිවූ ගින්න, ශ්‍රී ලංකාවට දීමට පොරොන්දු වූ එන්නත් තොගය “නුදුරු අනාගතයේ දීම” සැපයීමේ හැකියාව කෙරෙහි බලපාන බවත් සීරම් ආයතනය කියා සිටී. සීරම් ආයතනය විසින් මාර්තු 3 වන දින රාජ්‍ය ඖෂධ සංස්ථාවට හදිසියේම එවන ලද ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබේ.
මෙම ලිපිය සන්ඩේ ටයිම්ස් මාධ්‍යවේදිනියක විසින් දක්නා ලදි.
කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් කරනු ලබන ‘ඇස්ට්‍රා-සෙනාකා’ එන්නතේ මාත්‍රා මිලියන 1.5 ක් සඳහා ඇමරිකානු ඩොලර් 5.25 ක් ශ්‍රී ලංකාව විසින් මේ වන විටත් ගෙවා තිබේ. ඉන් එන්නත් මාත්‍රා 500,000 ක් ප්‍රජා එන්නත් කිරීමේ වැඩසටහන සඳහා පෙබරවාරි අවසාන සතියේ දී ලබා ගන්නා ලදී.
ඉතිරි මාත්‍රා මිලියනය මාර්තු සහ අප්‍රේල් මාසවලදී ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාවේ සීරම් ආයතනය අපේක්ෂාවෙන් පසුවිය.
කෙසේ වෙතත්, සීරම් ආයතනය පවසා ඇත්තේ එන්නත සැපයීමේ තත්ත්වය පිළිබඳ “යාවත්කාලීන කිරීමක්” හෙවත් නැවත දැනුම්දීමක් කෙරෙන්නේ අප්‍රේල් මාසයේ මැද භාගයේදී බවයි. විකල්පයක් වශයෙන් මෙම ගිවිසුම අවලංගු කිරීම හෝ ගෙවා ඇති අත්තිකාරම් ආපසු ගෙවීම සම්බන්ධයෙන් වන ඉල්ලීම් සඳහා සහාය පළකිරීමටද සීරම් ආයතනය එකඟ වී තිබේ.
සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සී. පූනාවල්ල මහතා විසින් අත්සන් කරන ලද මෙම ලිපිය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වෙත එවා තිබේ.
“කොවිඩ් වයිරසයට එරෙහිව ලෝකයම සටන් වැදී සිටින මොහොතක, ඊට සහයෝගය දැක්වීම සඳහා, ඉන්දියානු සීරම් ආයතනය තවත් ගිවිසුම් ගණනාවට එළඹ සිටී. එම අතිරේක සැපයුම් සහ බැඳීම් සපුරාලීම සඳහා අපි අපගේ නිෂ්පාදන පහසුකම් පුළුල් කිරීම ආරම්භ කළෙමු. එහෙත් කණගාටුවට කරුණක් නම්, අපගේ එක් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් හේතුවෙන් අපගේ මාසික නිෂ්පාදන නිමැවුම පුළුල් කිරීමට බාධා ඇතිවීමයි.”
“මෙම තත්වයන් යටතේ අපේක්ෂිත මාසවලදී ඔබට සැපයීමට සහතික වූ එන්නත් තොගය සැපයිය නොහැක.”
“එබැවින් ප්‍රමාද වී එන්නත් සැපයීම (ඒ සඳහා තවමත් කාලසටහනක් නොදනී) හෝ ඇණවුම අවලංගු කිරීම සහ අත්තිකාරම් මුදල් ආපසු ගෙවීම සම්බන්ධයෙන් සීරම් ආයතනය ශ්‍රී ලංකාවෙන් මග පෙන්වීමක් ඉල්ලා සිටී” යයිද එම ලිපියේ සටහන් වෙයි.
සීරම් ආයතනයෙන් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 10 ක් පමණ ඇණවුම් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තුව සිටියේය.
ඉන්දියාවේ සීරම් ආයතනයෙන් යටකී ලිපිය එවන ලද්දේ බදාදාය. බ්‍රහස්පතින්දා සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී පූනාවල්ල මහතා සහ ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන එන්නත් කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ලලිත් වීරතුංග මහතා අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවක නිරත වූහ.
කොරෝනා මර්දන එන්නත්වල හිඟය සම්බන්ධයෙන් ලලිත් වීරතුංග මහතා විසින් මතුකරන කාරණා සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණ.
සාකච්ඡාවේ අරමුණ වූයේ දකුණු ආසියාවේ සියලුම ජනතාවට වඩාත් සාධාරණ, පුළුල් සහ වේගවත් ආකාරයෙන් එන්නත ලබාගන්නේ කෙසේද යන්නයි.
Published in Health