බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණයේ 34 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
ඊයේ (04) ලැබී ඇති PCR ප්‍රතිඵල අනුව එම ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර රෝගීන් 22ක්, රෝගීන් බලාගන්නා සහායකයින් 7 දෙනෙකු, කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ දෙදෙනෙක්, හෙද නිලධාරීන් දෙදෙනෙක් සහ වෛද්‍යවරියක් ආසාදිත පිරිස අතරට අයත් ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ මීට පෙර රෝගියෙක් සහ හෙද කාර්යමණ්ඩල සාමාජිකයෙක් කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමත් සමග අනෙකුත් පිරිසගේ PCR පරීක්ෂණ සිදුකර තිබූ බවය.
ඒ අනුව මේ වනවිට බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණය වසා දමා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට පියවරගෙන ඇති අතර කාර්යමණ්ඩල සාමාජිකයින් නිවෙස් තුළ නිරෝධායනය සඳහා යොමුකර තිබේ.
ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන පිළිකා රෝගීන් සඳහා බාහිර රෝගී අංශයේදී ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව වෙනත් වාට්ටු වෙත ඇතුළත් කිරීමට තාවකාලිකව පියවර ගෙන ඇති බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
කොවිඩ් වෛරසය රෝහල තුළ පැතිර ඇති ආකාරය පිළිබඳව නිගමනයකට පැමිණීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවරගෙන ඇති බවද ඔහු පැවසීය.
පිළිකා රෝගීන් තුළ මෙම වෛරසය පැතිරයෑම බරපතළ තත්ත්වයක් වියහැකි බවත් ඒ හේතුවෙන් වෛරසය ඇතුළු වූ ආකාරය සොයාගෙන කඩිනමින් පියවරගත යුතුව ඇති බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.






