Press "Enter" to skip to content

මරා දැමුණු තරුණියගේ අනන්‍යතාවය හෙළිවේ – සැකකරු පොලිස් නිලධාරියෙක්

වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

කෙසේවෙතත් එම මළ සිරුර ඩී.එන්.ඒ.පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

සි.සි.ටීවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලීසිය බෑගය රැගෙන යන පුද්ගලයා තවත් කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගමන් ගන්නා ආකාරය නිරීක්ෂණය කර තිබේ.

කෙසේවෙතත් පසුව එම පුද්ගලයා පමණක් ලැගුම්හලෙන් පිටතට පැමිණ මාර්ග අංක 143 ඔස්සේ ධාවනය වන හංවැල්ල – පිටකොටුව බස් රථයකට නැග ගමන්ගන්නා ආකාරය ද නිරීක්ෂණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේ දී එම කාන්තාව පිළිබඳතොරතුරු අනාවරණය කරගැනීමට හැකි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එම සැකකාර පිරිමි පුද්ගලයා බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු බවට ද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඔහු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී ඇත.

ඒ අනුව සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මොනරාගල විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »