පසුගිය පෙබරවාරි 7 වන දා කෝට්ටේ, ජයවර්ධනපුර රෝහලේදී කොයි කාගේත් අවධානයට ලක්වූ අපූරු සැත්කමක් සිදුවිය. මේ ශල්‍යකර්මය මගින් සිදුකළේ එකවර කන් දෙකේ ම උපකරණ දෙකක් සවි කිරීමයි.
ශ්‍රවණාබාධ සහිත දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන ශල්‍යකර්මය හැඳින්වෙන්නේ Cochlear implant යනුවෙනි. එසේත් නැත්නම් කර්ණ ශංඛ බද්ධ ශල්‍යකර්මය ලෙසිනි. මේ ශල්‍යකර්මය බොහෝ විට සිදු කෙරෙන්නේ එක් කනකට පමණි. ඒ ඊට කෙරෙන වියදම හා සැත්කමේ ඇති සියුම්කම හේතුවෙනි.
මේ සුවිශේෂී ශල්‍යකර්මය කෙරුණේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මියගේ මැදිහත්වීමෙනි.
“මීට අවුරුදු 15කට වගේ කලින් ඉන්දියාවේ වෛද්‍යවරයකු ලංකාවට ඇවිත් පෞද්ගලික රෝහලකදී කන් දෙකම ඇහෙන විධියට ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා. ඒ වගේ ම පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේදීත් මෙවැනි ශල්‍යකර්මයක් සිදුකොට තිබෙනවා. නමුත් මේ රෝහලේදී සිදුකළ මේ ශල්‍යකර්මය පළමු එක වන්නේ එහි අලුත් ක්‍රමවේදය සැලකිල්ලට ගනිමිනුයි. මේ ශල්‍යකර්මය අපි හඳුන්වන්නේ Cochlear implant කියලයි.”
මෙසේ පවසන්නේ විශේෂඥ වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මියයි. මේ ශල්‍යකර්මය සිදුකිරීමේදී නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කණිෂ්ක ඉන්දුරත්න ඇතුළු සහාය වෛද්‍යවරුන්ගෙන් මෙන්ම හෙද සොයුරියන් හා සෙසු කාර්ය මණ්ඩලයෙන් ලැබුණු සහයෝගය අගය කරන බව ද ඇය කීවාය.
“මෙවැනි ශල්‍යකර්මයක් සිදුකිරීම ලොකු අභියෝගයක්. ඒකට පැය හතක් විතර ගත වෙනවා. අන්වීක්ෂයෙන් බල බල තමයි බොහෝම සියුම් නහර ආරක්ෂා කරගෙන ශල්‍යකර්මය සිදු කරන්නේ.
කන ආශ්‍රිතව ඇති නහර ඉතා සියුම්. මේ සියුම් නහර, මොළය හා සම්බන්ධයි. යම්කිසි විධියකින් මේ ලේ නහරවලට හානි සිදුවුවහොත් ඇතිවන සංකූලතා ඉතා වැඩියි. ඒ වගේ ම සියුම් නහර කැපුණොත්, හානි වුණොත් කන් ඇහෙන්න පටන් ගත්තත් කට ඇද වෙනවා.
ඉතිං සැත්කමේදී මේ වගේ බොහෝ දේවල් ගැන අපි අවධානයට යොමු කළ යුතු වෙනවා.”
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී මේ සංකීර්ණ ශල්‍යකර්මයට භාජන වූයේ අවුරුද්දයි මාස දෙකක් පමණ වයසැති දැරියකි. ඒ සඳහා වැය වූ මුදල ලක්ෂ 50ක් පමණ වන බව සඳහන් ය. ඒසා විශාල මුදලක් වැය වන්නේ අදාළ සියුම් උපකරණ මිලෙන් අධික නිසා යැයි විශේෂඥ වෛද්‍ය රූපසිංහ මහත්මිය කීවාය.
“සමහර දුරකතනවල මිල අධිකයි. ඒවයේ තාක්ෂණික ගුණාත්මක භාවය වැඩියි. මේ කර්ණ ශංඛ බද්ධ කිරීමට සම්බන්ධ උපකරණවල වුණත් තත්ත්වය එහෙමයි. හොඳ ම උපකරණ මිල අධිකයි.
ඉතිං මිල එහෙම වුණත් දරුවකුගේ අනාගතය වෙනුවෙන් මෙවැනි ආයෝජනයක් කිරීම ගැන දෙවරක් හිතන්න හොඳ නැහැ. දරුවාගේ කන ඇහෙන්න හදනවා කියන්නේ එයාගේ අනාගතය යහපත් කරනවා කියන එකයි.”
සාමාන්‍යයෙන් මෙවැනි ශල්‍යකර්ම සඳහා වැය වන මුදල අධික බව ඇත්තකි. එහෙත් ඒ මුදල් සැබවින් ම ජයවර්ධනපුර රෝහලට ලැබෙන මුදලක් හෝ වෛද්‍යවරුන්ට ලැබෙන මුදලක් නොවන බව නම් මෙහි සඳහන් කළ යුතුයි.
“අපේ රෝහල කාලෙක ඉඳල ම එක කනක් වෙනුවෙන් මෙවැනි සැත්කම් කළා. ඒ උපකරණ රජයෙන් නොමිලේ ලබා දෙනවා. අපි විතරක් නෙමෙයි මෙවැනි සැත්කම් රජයේ රෝහල් කිහිපයක ම සිදු කරනවා.
ඒ වගේ ම රාජ්‍ය අනුග්‍රහයෙන් මේ ශල්‍යකර්මයට අවශ්‍ය කර්ණ ශංඛ බද්ධ උපකරණය ලබා දෙනවා.”
සාමාන්‍යයෙන් උපතින්ම ශ්‍රවණාබාධිත තත්ත්වයට පත්වන සියලුම දරුවන්ට මේ ශල්‍යකර්මයෙන් සහනයක් ලැබෙනවා ද? එමෙන් ම මෙවැනි ශල්‍යකර්මයකට ලක්විය යුතු දරුවන්ගේ වයස ගැන සඳහනක් තිබේ ද? අපි විශේෂඥ වෛද්‍යවරියගෙන් ඒ පිළිබඳ විමසුවෙමු.
“ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් ප්‍රතිපත්තියක් හැටියට දන්වලා තිබෙනවා උපදින හැම දරුවකුගේම ශ්‍රවණ තත්ත්වය පරීක්ෂා කර බලන්න කියලා.
මීට පෙර නම් අපි බොහෝ විට විවිධ ආසාදන ඇති මවුවරුන්ගේ වගේම දියවැඩියාව, රුබෙල්ලා වගේ ලෙඩරෝග ඇති මවුවරුන් ගැනත් සැලකිලිමත් වුණා. ඒ වගේම බේබි රූම් එකේ රඳවන දරුවන්ගේ ශ්‍රවණ තත්ත්වයත් පරීක්ෂා කළා. දැන් හැම දරුවෙකුගේ ම උපතේදීම ශ්‍රවණ තත්ත්වය පරීක්ෂා කර බලනවා.
ඒ වගේ ම දරුවෙකුගේ වයස අවුරුදු තුන පනින්න කලින් මේ ශල්‍යකර්මය කළ යුතුයි. ඊට පස්සේ බැහැ කියන්නේ නැහැ. නමුත් අර වගේ පුංචි වයසකදී කරන ශල්‍යකර්මය හුඟක් සාර්ථක වෙන්න පුළුවන්.
අපේ මොළයේ ඇසීමට සම්බන්ධ එක් කොටසක් තිබෙනවා. ඉතින් යම් යම් දේවල් ඇහෙන කොට තමයි ඒ කොටස වර්ධනය වෙන්නේ. ඇසීමට විතරක් නොවෙයි, අතපය චලනයටත් එහෙමයි. මේ කොටස්වලින් තමයි ඒ දේවල් සිදුවෙන්නේ.
මෙහිදී තවත් දෙයක් මතක් කළ යුතුයි. කිසිම දරුවෙක් උපතින් ගොළු, බිහිරි වෙන්නේ නැහැ. බිහිරි නිසා තමයි ගොළු වෙන්නේ. මොකද ඇහෙන්නේ නැති නිසා ඒවාට ප්‍රතිචාර දක්වන්න කතා කරන්නේ නැහැ.
මේ නිසා කනේ ඇසීමේ කොටසයි මොළයයි අතර සම්බන්ධයක් නැති වෙනවා. ඒ හේතුව නිසයි ටික ටික අර දුබලතා ඇති වෙන්න පටන් අරන් කතා කරන්නට බැරි වෙන්නේ.”
මුලදී ගොළුබිහිරි ලෙස සිටි බොහෝ දරුවන් මෙවැනි සැත්කම්වලට ලක්වීමෙන් පසු හොඳින් කතා බහ කරන ආකාරය හා සාමාන්‍ය ලෙස වැඩ කරන ආකාරය අපි දැක ඇත්තෙමු. එහෙත් ඒ සඳහා කාලය හා පරිස්සම තිබිය යුතුයි.
මේ කාරණය පිළිබඳව අපේ විශේෂඥ වෛද්‍යවරිය දක්වන්නේ මෙවැනි අදහසකි.
“මේ ශල්‍යකර්මය සඳහා අපි අඟල් 2ක් වගේ පුංචි කොටසක් තමයි කපන්නේ. ඒ වෙනුවෙන් පැය 4ක් විතර වෙහෙසිලා අර උපකරණය තැන්පත් කරනවා. නමුත් මේ ශල්‍යකර්මයෙන් පසු දරුවා ගැන අපි සැලකිලිමත් වෙනවා. ඔහු ආසාදනවලට ගොදුරු වෙනවාද කියලා බලන්න ඕනෑ. ඒ වගේ ම ඊට ප්‍රතික්‍රියා දක්වන එන්නත් ලබාදෙන්නත් ඕන.
දැන් සමහර අය හිතන්න පුළුවන් කන් දෙකේ ම එකවර ශල්‍යකර්ම දෙකක් කර තිබෙන නිසා අවදානම වැඩි වෙන්න පුළුවන් නේද කියලා. ඇත්තට ම එහෙම නැහැ. දැන් මේ ශල්‍යකර්මයට මුහුණ දුන්නු දරුවන් දින තුනකින් පස්සේ ගෙදර ගියා.
අපි මේ වගේ තත්ත්වයට පත්වී ඉන්න සියලුම දරුවන්ගේ මවුපියන්ට කියන්නේ මුදල් ගැන හිතන්න එපා, ඔබට දැන් රජයේ රෝහල්වලින් මේ ප්‍රතිකාරය නොමිලේ ලැබෙනවා එන්න කියලයි.”
රජයේ රෝහල්වල මෙවැනි ශල්‍යකර්ම නොමිලේ කළත් රැඳී සිටිය යුතු පොරොත්තු ලේඛනය ඉතා දිගු ය. ඊට හේතුව මෙවැනි ශල්‍යකර්ම සිදුකිරීමට තරම් වටපිටාවක් බොහෝ රෝහල් තුළ නැතිකමය. කොටින් ම ශල්‍යාගාරවලට අඩුපාඩු පැවතීමය.
“අපේ රෝහලේ කාලෙක ඉඳල ම මේ වගේ දරුවන්ට ප්‍රතිකාර කරනවා. ඒ පහසුකම් උපරිමයෙන් ම තිබෙනවා. ඒ නිසා ඕනෑ ම වෙලාවක අපේ රෝහලට එන්න. අපි දරුවන් වෙනුවෙන් ඒ යුතුකම කරනවා.” විශේෂඥ වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මිය කීවාය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂවරයා වන්නේ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාය. මේ අති විශේෂ සංකීර්ණ සැත්කම සම්බන්ධයෙන් අපි ඔහුගෙනුත් විමසුවෙමු.
“අපි හැමවිටම රෝගී ජනතාවට උසස්ම සේවාවක් සැපයීමට සූදානමින් සිටින රෝහලක්. මේ රෝහලේ සෑම වෛද්‍යවරයෙක් ම, රෝහල් කාර්ය මණ්ඩලයේ හැමෝ ම ඒ වෙනුවෙන් වෙහෙසෙනවා.
විශේෂඥ වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මිය වගේ ම නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කණිෂ්ක ඉන්ද්‍රරත්න ප්රමුඛ කණ්ඩායම ඉතා දක්ෂ විදිහට මේ සැත්කම සිදු කළා. අපේ රෝහලේ මීට පෙර ඉහත කී මෙවැනි සාර්ථක ශල්‍යකර්ම සිදුකොට තිබෙනවා. හැබැයි එක කනක් විතරයි ඒ ශල්‍යකර්මයට ලක් වුණේ. මෙවර තමයි කන් දෙකේ ම ශල්‍යකර්මය එක වේලාවකදී කළේ.
ඇත්තට ම මෙවැනි සැත්කම් විතරක් නෙවෙයි, අපේ රෝහලේ කරන හැම සැත්කමකින් ම පසුවත් රෝගියාට උපරිම ප්‍රතිකාරත් සහනයත් ලැබෙනවා. රජයේ රෝහලකින් ලැබෙන ප්රතිලාභ වගේම පෞද්ගලික රෝහලකින් ලැබෙන ප්‍රතිලාභත් අපේ රෝහලින් රෝගියාට එකවර ලැබෙනවා.






