Press "Enter" to skip to content

මියන්මාර් හමුදා කුමන්ත්‍රණයට පළමු මිනිස් ජීවිතය බිලි වෙයි

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවකදී පසුගිය දා වෙඩි පහරකට ලක්වූ 20 හැවිරිදි කාන්තාව මියගොස් තිබේ.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර, රබර් උණ්ඩ ප්‍රහාර සහ සජීව උණ්ඩ ප්‍රහාර එල්ල කළ අතර එහිදී අදාළ කාන්තාවගේ හිසට වෙඩි පහරක් එල්ලවී තිබිණි.

පසුව අදාළ කාන්තාව එරට අගනුවර වන Nay Pyi Tawහි රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ අතර එහි වෛද්‍යවරයෙකු සඳහන් කළේ, එම කාන්තාවගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති බවත් එය සජීවී උණ්ඩයක් හේතුවෙන් සිදු වූ තුවාලවීමක් බවත් ය.

ඒ අනුව ඇය එරට වේලාවෙන් අද (19) පෙරවරු 11.00ට පමණ ජීවිතක්ෂයට පත්වුණු බව Nay Pyi Tawහි රෝහල තහවුරු කළා ය.

බලධාරීන් ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන බවය.

ඉකුත් 9 වන දා මියන්මාර හමුදාව විසින් අවුං සාන් සූ කී නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ (NLD) ප්‍රධාන කාර්යාලය විනාශ කර දැමූ බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබිණි.

මීට පෙර වසරවලදී ද හමුදා පාලනයට එරෙහිව එරට පැවති විරෝධතාවලදී විරෝධතාකරුවන් ඝාතනය වී තිබේ.

පසුගිය නොවැම්බර් මස එරට පැවති මැතිවරණයෙන් අවුං සාන් සූ කී නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය ජයග්‍රහණය කළ අතර හමුදාව පැවසූයේ එම මැතිවරණය වංචනික එකක් බව ය.

ඒ පිළිබඳව එරට රජය සහ හමුදාව අතර පැවති මතභේදාත්මක තත්ත්වය උග්‍ර අතට පත්වීමෙන් පසුව හමුදාව විසින් අවුං සාන් සූ කී ඇතුළු දේශපාලඥයින් එරට හමුදා භාරයට ගන්නා ලදී.

More from GossipMore posts in Gossip »