ගැලීලියෝ ගිය මග යමින් මීරිගම ඩී.එස්. සේනානායක මැදි විදුහලෙන් ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන අප කතානායක දිනුජය චමල්ය කරුණාරත්න තාක්ෂණය අතින් දියුණු දුරේක්ෂයක් නිපදවා එය නියුටෝනියානු වර්ගයේ පරාවර්තක දුරේක්ෂයක් බව පෙන්වා සිටී. ඉන්ද නොනැවතී ඔහු සඳ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, ඔරායන් නිහාරිකාව, ලැගුම් නිහාරිකාව එපමණක් ද නොව ඇන්ඩේරාමීඩා චක්‍රාවාටය, මීවදය, තරුපොකුර, හත්දින්නත් තරු පොකුර, ටොලමි තරු පොකුර පවා පියවි ඇසින් දැකිය හැකි මට්ටමට එම දුරේක්ෂය වැඩිදියුණු කර තිබේ. මෙහි ඇති වැදගත්කම වන්නේ මෙම දුරේක්ෂය ආනයනය කළ තල දර්පණ මගින් ලංකාවේදී නිපදවීමයි.
අප කතානායක දිනුජ කරුණාරත්නගේ පියා මීරිගම ඩී.එස්. සේනානායක මැදි විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කලක් සේවය කළ ඒ.ආර්.එන්. කරුණාරත්න මහතාය. කරුණාරත්න මහතා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ සහාය කථිකාචාර්යවරයෙකි. ග්‍රහලෝක පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ කඳවුරු පවත්වන්නෙකි. ඒ සඳහා දිනුජගේ මෑණියන් වන ප්‍රියදර්ශනී මහත්මිය ලබාදෙන්නේද නොමඳ සහායකි. සිය ප්‍රාථමික අධ්‍යාපනය ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලයෙන් ආරම්භ කළ දිනුජය උසස් අධ්‍යාපනය මීරිගම ඩී.එස්. සේනානායක මැදි විදුහලෙන් හදාරා බලාපොරොත්තු වන්නේ තම උසස් අධ්‍යාපනය නවීන තාක්ෂණය සමඟ මුසුකර පවත්වාගෙන යන්නටය.
දිනුජය විසින් නිර්මාණය කරන ලද නියුටෝනියානු වර්ගයේ පරාවර්තන දුරේක්ෂය පිළිබඳ කරුණු කාරණා ඔහුගෙන්ද දැන ගැනීම වටී.
“විශ්වයේ බොහෝ තොරතුරු සොයා විද්‍යාඥයන් අභ්‍යවකාශය තරණය කරන යුගයක තාරකා, ග්‍රහලෝක ඇතුළු ග්‍රහවස්තු පිළිබඳ ගොඩනැඟුණු කුතුහලයක ප්‍රතිඵලයක් ලෙසයි මම මෙම පරාවර්තක දුරේක්ෂය නිර්මාණය කළේ. මිලිමීටර් 150 විශ්කම්භයක් සහිත පරාවලික දර්පණයකින් සහ ද්විතීයික දර්පණයකින් මෙම දුරේක්ෂය සමන්විත වෙනවා. පරාවලික දර්පණය මි.මී. 750ක නාභි දුරක් සහිතයි. ඒ වගේ ම මෙම දුරේක්ෂයේ නිරක්ෂීය ස්ථාපන ක්‍රමයෙන් සමන්විත වූ සැකැස්මකුත් පවතිනවා. මෙම දුරේක්ෂය මගින් ටොලමි තරුපොකුර දක්වා වූ ග්‍රහවස්තූන් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි. මම මෙම දුරේක්ෂය තවදුරටත් වැඩිදියුණු කරගෙන යමිනුයි පවතින්නේ. ඉදිරියේදී දුරේක්ෂයට පරිගණක සහාය සහිත ස්වයංක්‍රිය සෙවුම් පද්ධතියක් නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
ඒ මගින් මම අපේක්ෂා කරන්නේ තෝරාගත් ආකාශ වස්තුවලට දුරේක්ෂය නාභිගත වීම ස්වයංක්‍රියව සිදුවීම. මෙවැනි දුරේක්ෂ දැනට ලංකාව තුළ නිෂ්පාදනය වන්නේ නැහැ. වැඩිදුරට සිදුවන්නේ ඒවා විදෙස් රටවලින් ආනයනය කිරීම. ආනයනික දුරේක්ෂයක් රුපියල් ලක්ෂයක් පමණ වෙනවා. ප්‍රමාණවත් සහායක් ලබාදෙන්නේ නම් මෙම දුරේක්ෂය ලංකාව තුළ ඉන් හරි අඩ මිලකට නිෂ්පාදනය කළ හැකියි.
අභ්‍යවකාශය පිළිබඳ සොයා බැලීමේ පෙරැත්තක් මා තුළ ඇති වුණේ මම වික්‍රමශීලා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී. මගේ පියා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ බාහිර කථිකාචාර්යවරයෙක්. ඔහු දිවයින පුරා පාසල්වල රාත්‍රි අහස නිරීක්ෂණ කඳවුරු පැවැත්වූවා. එහිදී තමයි මම දුරේක්ෂ හැසිරවීමේ අත්දැකීම් ලැබුවේ. ග්‍රහලෝක, තරු රටා, නිහාරිකා, චක්‍රාවාට මූලිකව හඳුනාගත්තේ මගේ පියාගේ මගපෙන්වීම යටතේ. මෙම දුරේක්ෂය සඳහා ආනයනික උපාංග ලෙස මා ලබාගන්නේ දර්පණ පමණයි. එම දර්පණත් ඉදිරියේදී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එවිට තවත් විශාල මුදලක් අඩුවෙන් මෙම දුරේක්ෂය අභ්‍යවකාශය පිළිබඳව හැදෑරීම් කරන්නන්ට ලබාදිය හැකියි.”
ප්‍රිය මිත්‍රවරුනි, පසුගිය මාර්තු මසින් ඇරැඹි භීම සමය තුළ මෙවැනි නව නිපැයුම් කොතෙක් සිදුවී ද? කනගාටුවට කාරණය නම් ඒවා උපන් ගෙයි මියැදීමය. එය ඉතිහාසය විසින්ම සනාථ කරන්නෙකි.






