Press "Enter" to skip to content

බොන්න බෑ කිව්වම කන සපා කාලා

ත්‍රිරෝද රථ ගාලකදී ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් පසු ත්‍රිරෝද රථ රියැදුරෙකු විසින් තවත් රියැදුරෙකුගේ දකුණු කන වෙන් වෙන්නම සපා කෑ සිද්ධියක් පිළිබඳ පුවතක් කටුගස්තොට පොලිසියෙන් වාර්තා වේ.

එම සිදුවීම සැකෙවින් මෙසේය. කටුගස්තොට පොලිස් වසමේ අලදෙනිය නගරයේ පිහිටි ත්‍රිරෝද රථ නැවැතුම්පොළක මත්පැන් පානය කරමින් සිටි රියැදුරන් පිරිසක් අසලට පැමිණි තවත් ත්‍රිරෝද රථ රියැදුරෙකුගෙන් එම පිරිස මත්පැන් පානය කරමුදැයි අසා තිබේ. එම රියැදුරා මත්පැන් පානය කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

පසුව එම පිරිස සතුව තිබුණු මුදල් මෙම පුද්ගලයා විසින් ගත් බව පවසමින් ඔහු සමග ආරවුලක් ඇති කරගෙන තිබේ. ඒ අවස්ථාවේ එම පිරිස අතර සිටි රියැදුරකු මත්පැන් පානය කිරීම ප්‍රතික්ෂේප කළ බව පැවැසෙන රියැදුරාගේ දකුණු කන් පෙත්ත වෙන් වෙන්නම සපා කා ඇති අතර පසුව කන අහිමි වූ පුද්ගලයා එම කන්පෙත්තද රැගෙන ඔහුගේම ත්‍රිරෝද රථයෙන් තිත්තපජ්ජල රෝහල වෙත ගොස් තිබේ.

තිත්තපජ්ජල රෝහල වෙත පැමිණි මෙම පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර ඇත. කන අහිමි වූ පුද්ගලයා කටුගස්තොට පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කළ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පිරිසක් කන සපා කෑ බව පැවැසෙන පුද්ගලයා හා තවත් අයකු අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

More from GossipMore posts in Gossip »