16 හැවිරිදි පාසල් සිසුවෙකුට බරපතළ ලිංගික අතවර සිදු කරන ලද ග්‍රාම නිලධාරීවරයෙකු අද (27) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව හබරාදූව පොලිසිය පැවසීය.
හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන 37 හැවිරිදි ග්‍රාම නිලධාරීවරයෙකු වන සැකකරු උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු බවත් ඔහුගේ උපකාරක පන්තියට පැමිණි අදාළ සිසුවා බිය ගන්වමින් 2018 වසරේ සිට ඔහුට දිගින් දිගට ම බරපතළ ලිංගික අපයෝජනය සිදු කර ඇති බවත් වාර්තා වී තිබේ.
පසුව එය ඉවසාගත නොහැකිව එම සිසුවා විසින් ඒ පිළිබඳව සිය ඥාති සහෝදරයෙකු හට පැවසීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා එම සිසුවා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර ග්‍රාම නිලධාරීවරයා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු බව අප වාර්තාකරු සඳහන් කළේ ය.






