Press "Enter" to skip to content

බයිඩ්න්ගේ දිව්රුමේ උත්සවයට සැක්සෆෝන් ගැසූ ලංකාවේ තරුණිය

ඇමරිකාවේ වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලේදී ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත් 20 වැනිදා දිවුරුම් දුන් උත්සවය පැවැත්වෙන අතරතුරේදී ඉන්දියානුවෝ එරටදී රතිඤ්ඤා පත්තු කළෝය. ඒ ඉන්දියානු සම්භවයක් සහිත කමලා හැරිස්, බයිඩ්න්ගේ උප ජනාධිපති ලෙස පත්වීම හේතුවෙනි. එනමුත් එම උත්සවයට ලංකාවේ තරුණියක්ද එක්ව සිටි බව බොහෝ ලාංකිකයෝ දැනගෙන සිටියේ නැත. ඇය නිවන්ති කරුණාරත්නය.

ඇය ඊට සහභාගි වූයේ විවිධ ප්‍රාන්ත හා ආයතන ගණනාවක සහභාගිත්වයෙන් පැවති සංස්කෘතික සන්දර්ශනයේ සාමාජිකාවක ලෙසිනි. එහිදී දකුණු ආසියාව නියෝජනය කළේ නිවන්ති විසිනි. ඇය සන්දර්ශනයේ ප්‍රධාන සැක්සෆෝන් වාදන ශිල්පිනිය ලෙස ඊට එක්වී සිටියාය.

මෙම සංගීත සංධ්වනිය සඳහා තෝරාගත් සංගීත හා සංස්කෘතික ආයතන 14ක් නියෝජනය කරමින් සංගීතඥයන් 14 දෙනකු සහභාගි වූයේය. නිවන්ති අයත් වූයේ දකුණු ආසියානු සංගීත පදනම (SASF) ටය.

දකුණු ආසියානු සංගීත පදනම ආරම්භ කිරීමේ මූලිකයා වූයේ කලක් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වූ නිරූපමා රාඕය. මෙවැනි වැදගත් උත්සවයකදී දකුණු ආසියාව නියෝජනය කරමින් නිවන්ති ඉදිරිපත් කිරීමට හැකිවීම පිළිබඳව තමා ආඩම්බර වන බව රාඕ ප්‍රකාශ කළාය.

මීට පෙර 2015 වසරේදී එවකට ජෝ බයිඩ්න් උප ජනාධිපති වශයෙන් සිටියදී ද මෙවැනි සංගීත වැඩසටහනකට නිවන්ති සහභාගි වී තිබේ. එම අවස්ථාව සිහිපත් කරමින් බයිඩ්න් තමන්ට සුබ පැතූ බව නිවන්ති ප්‍රකාශ කළාය.

More from GossipMore posts in Gossip »