Press "Enter" to skip to content

බ්‍රිතාන්‍ය කොරෝනා නව ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ ලංකාවට පැමිණි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට

බ්‍රිතාන්‍යයෙන් හමුවූ කොරෝනාවෛරස නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

එංගලන්තයේ සිට මෙරටට පැමිණි ක්‍රීඩකයින් අතරින් කොරෝනවෛරසය ආසාදිත බව පසුගිය දා තහවුරු වූයේ මොයීන් අලී නමැති ක්‍රීඩකයාට ය.

මහා බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූවෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද පැවසුවේ ය.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛරසයේ නව ප්‍රභේදය පිළිබඳව පර්යේෂණය කළ පර්යේෂණ කණ්ඩායමේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගෙන් ද විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසුවේ, බ්‍රිතාන්‍ය කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයට සමාන වෛරස ප්‍රභේදයක් මෙරටින් හඳුනාගත් බවය.

මෙම වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම සිදු කළ පර්යේෂණයේ දී මේ බව තහවුරු වූ බව ඒ මහතා පැවසීය.

ඒ අනුව, එම පර්යේෂණය අවසන් කර එහි තොරතුරු මීට දින දෙකකට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දුන් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ ය.

More from GossipMore posts in Gossip »